Monday , November 28 2022
Breaking News

පොන්නියින් සෙල්වන් : පාර්ට් I (2022) Sinhala Subtitles | සොළී දේශයේ ස්වර්ණමය යුගයේ පිබිදීම. [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 59 votes.
Please wait...

දෙමළ සිනමාවේ අවුරුදු 70ක සිහිනය මේ වසරේදී සැබෑවක් වෙලා Ponniyin Selvan Part 1 නැත්නම් PS – 1 විදියට තිරගත වෙනවා. ලබන වසරේදී මෙහි දෙවන කොටස පැමිණෙන බවට ඉඟියක් දෙමින් චිත්‍රපටය නිමා කරන්නේ. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ මේ නමින්ම ප්‍රකාෂයට පත් කරන ලද පොතකින්. විස්තර කතා කරන්න කලින් කතාවේ චරිත ගැන හැඳින්වීමක් බලලම ඉමු. පොන්නියින් සෙල්වන් නවකතාවේ වැදගත් චරිත ගැන පොඩි හැඳින්වීම්ක්. පහලින් සටහන් කරන දේවල් අතරේ සත්‍ය එක්ක මුසු වුණ කල්කිගේ ප්‍රබන්ධයත් ඇතුලත්. ඔක්කොම ඇත්ත කියන්නත් බැහැ. බොරුයි කියන්නත් බැහැ.

 

ආදිත්‍ය කරිකාලන්
සුන්දර චෝලන්ගේ වැඩිමහල් පුත්‍රයා වගේම ඔටුන්න හිමි කුමරා. මොහු වයස අවුරුදු 12දිම යුද්ධ බිමටට පිවිසිලා යුද්ධ කරලා තියෙනවා. බොහෝ දරුණු, වීරත්වයෙන් පිරි කුමාරයෙක් වගේම මව පියා කෙරෙහි මහත් ආදරයක් තිබූ අයෙක්. ඉතිහාස කතා කියන විදිහට කරිකාලන් තම පියාගේ සැඳෑ සමය සැපවත්ව ගත කිරීමට කාංචි නුවර ස්වර්ණමයක් මාලිගය තනා තිබෙනවා. කුඩා කාලයේ සිටම ආදරය කල නන්දිනී නම් කුමරියව ඔහුගෙන් ඈතට ගෙන ගොස් වෙන් කරන්නේ ඔහුගේම රජ පවුලේ අය විසින්මයි. ඒ සිදුවීමත් එක්කම කරිකාලන් බොහෝ ප්‍රචණ්ඩාකරී වෙනවා. සියලු සැප සම්පත් තිබුණත් නන්දිනී නිසා වේදනාවෙන් විදවමින් සිටින කරිකාලන් නන්දිනීව අමතක කර දැමීමට උතුරට ගොස් වෙනත් රාජ්‍යන් සමඟ සටනට ගොස් ජයගෙන නව බල ප්‍රදේශයන් තම රාජ්‍යයට ඈදා ගන්නවා. යුද්ධය අවසන් වීමෙන් පසු මත් පැන් බොමින් ජයග්‍රහණය සැමරීම කරිකාලන්ගේ පුරුද්දක්. චෝල දේශයේ රජ වීමට කරිකාලන්ට කැමැත්තක් නොතිබුණ නිසාවෙන් කිරුළ තම සහෝදරයා අරුන්මොළිට ලබා දෙන ලෙස පියාගෙන් ඉල්ලනවා.

අරුන්මොළි වර්මන්
සුන්දර චෝලන්ගේ බඩපිස්සා. පලමුවන රාජ රාජ චෝලන් ලෙස පසුකලෙක රජ වන්නේ මොහුයි. මොහුට හස්තීන් සමඟ කතා කිරීමේ හැකියාවක් තිබෙනවා. අරුන්මොළි ඉතා කුඩා කල කාවේරි නොහොත් පොන්නි නදියට ඇද වැටෙනවා. එම අවස්ථාවේදි අභිරහස් ස්ත්‍රියක් ඔහුගේ ජීවිතය බේරාගෙන වතුරින් ගොඩට රැගෙන එනවා. කුඩා අරුන්මොළි කියා තිබෙන්නේ ඔහුව බේරගත්තේ කාවේරි මාතාව කියලයි. එම සිද්දිය කාරණා කොටගෙන අරුන්මොළිට පොන්නියගේ පුත්‍රයා යන නම පටබැඳෙනවා. අරුන්මොළිව වයස අවුරුදු 19 දි ලංකාව ආක්‍රමණය කිරීමට එවා තිබෙනවා. වරෙක මාරාන්තික උණ රෝගයක් හැදී තිබියදී මොහුව බේරා ගන්නේ නාගපට්ටිනම්(තමිල්නාඩුවේ) භික්ෂූන් වහන්සේ කෙනෙක් විසින්. මොහු යහපත් ගුණාංග ඇති කුමරෙක් බවත් ලංකාවේ මිනිස්සු පවා මොහුට රජුන් ලෙස කිරුළු බාර ගන්න ලෙසට ඉල්ලා සිටිය බවයි නවකතාවේ සඳහන් වෙන්නෙ. අරුන්මොළි තමන්ගෙ මිතුරන් එක්ක අහඹු විදිහට, විහිළුවට සටන් කරන්න කැමතියි. සටන් කරන ආකාරයෙන් එම පුද්ගලයා තමාට ලෙන්ගතුයි ද, නැද්ද යන වග සොයා ගන්නවා. ලංකාවේ යුද්ධ කිරීමට තම රටේ ආහාර රැගෙන යාම අරුන්මොළිට එල්ල වන චෝදනාවක්. සාමාන්‍යයෙන් සෙබළුන් යටත් කරගන්න බල ප්‍රදේශයේ මිනිස්සුන්ගේ වගා දේපල විනාස කරගෙන, ඒ දේවල් වලින් තමයි කන්නෙ බොන්නෙ. තමිල්නාඩු ඉතිහාසයේ වැදගත් ස්ථානයක් මේ රජුට හිමි වෙනවා.

වල්ලවරායන් වන්දියදේවන් (මනඃකල්පිත)
වල්ලම් රටේ වානර් කුලයේ කුමරුන්. විනෝදයෙන් පිරි සෙල්ලක්කාර (Playboy) කුමරෙක්. ඒ වගේම මුරණ්ඩු, නොසන්සුන් චරිතයක් මොහු සතුයි. කරිකාලන්ගේ ආරක්ෂකයා වගේම සමීපම මිතුරා. කරිකාලන් කාංචි වල ඉදිකරනු ලැබූ රත්තරන් මාලිගයට පැමිණෙන ලෙසට ආරාධනා කර පියරජු සුන්දර චෝලන් හට වන්දියදේවන් අත හසුනක් යවනවා. වන්දියදේවන්ගේ කතාවෙන් කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමින් පවා මෝහනය කර ගන්නවා කියලයි පොතේ සඳහන් වෙන්නේ. වන්දියදේවන් සොබා පරිසරය විඳින්න බොහෝ කැමැත්තක් දක්වනවා. පොන්නි නදී ගීතයේ පද රචනා කර තිබෙන්නෙ වන්දියදේවන් සොබදහමත් රස විඳිමින් දූත මෙහෙවර කරමින් යන ගමන ගැනයි.

නන්දිනී දේවි (මනඃකල්පිත)
බොහෝ සිත් වශී කරවන රූපයක් හිමි කුමාරිකාවක්. නන්දිනී රූපයෙන් වගේම බුද්ධියෙන් ද පොහොසත් ඇය වසර ගණනකට පෙරදී කරිකාලන්ගේ පෙම්වතියයි. පසු කලෙක පාණ්ඩිය රටේ වීර පාණ්ඩිය රජු සමඟ විවාහ වනවා. කරිකාලන් පාණ්ඩ්‍ය රාජ්‍යයට විරුද්ධව යුද්ධ කර දිනා, වීර පාණ්ඩිය රජුගේ හිස ගසා දමනවා. ඉන් පසු කලෙකදී නන්දිනී චෝල දේශය රකින ආරක්ෂාවේ ප්‍රධාන කුළුණක් වුණ පෙරිය පලුවේට්ටරෛයර්ව විවාහ කර ගන්නවා. නන්දිනී තමා ඉල්ලන දේ කර දෙන තුරු පෙරිය පලුවේට්ටරෛයර් සමඟින් යහනේ සැතපෙන්නේ නැති බව කියමින් ඔහු හරහා චෝල රාජ්‍යය විනාශ කර දැමීමට සැලසුම් යොදනවා. නන්දිනී කුමරියත් මන්දාකිනි දේවියත් රුවෙන් එක සමාන බව කියනවා.

කුන්දවෛ දේවි.
සුන්දර චෝලන්ගේ දියණිය වගේම කරිකාලන්ගේ නැගෙනිය හා අරුන්මොළිගේ අක්කණ්ඩියයි. රූමත් කුමරියක් වගේම තියුණු බුද්ධියක් සහිතයි. නන්දිනී කරනු ලබන සැළසුම් වලට එරෙහිව තියුණු සැළසුම් කිරීමේ බුද්ධියක් ඇය සතුව තිබුණා. රාජ්‍යයේ වැදගත් තීරණ ගනු ලබන දෙදෙනාගෙන් එක් අයෙක් වන්නේ මේ කුන්දවෛ කුමරියයි. කරිකාලන් කුමරුන්ට ඔටුණු පලන්දනු ලබන්නේ ඇයගේ තීරණයකට අනුවයි.

ආල්වාර්කඩියන් නම්බි (මනඃකල්පිත)
වීර වෛෂ්ණවර නම් විශ්ණු දෙවියන් වෙනුවෙන් ගැතිකම් කරන සේවකයෙක්. තරබාරු හා පැහැපත් සිරුරක් හිමියි. නම්බි විශ්ණු බැතිමතෙක් වගේම මහ ඇමතිගේ හා සෙම්බියන් මහ දේවියගේ ඔත්තුකරුවෙක් ලෙසත් සේවය කරනවා. වන්දියදේවන් සමඟ වඩාත් සමීපයි වගේම වන්දියදේවන්ව කිහිප විටක්ම අනතුරුවලින් බේරාගෙන තිබෙනවා. ශිව භක්තිකයන් ඇස ගැටෙන සැනින් ඔවුන් සමඟ වාද කරගනිමින් රණ්ඩු ඇති කරගන්නවා. මොකද ශිව දෙවියන්ට වඩා විශ්ණු දෙවියන් ශ්‍රේෂ්ඨ බවට නම්බි දැඩි ලෙසම විශ්වාස කරනවා.

සුන්දර චෝලන්
නමේම තියෙනවා වගේ ඉතාමත් අලංකාර රජෙක් විදිහටයි මොහුව හඳුන්වන්නේ. ඔහුගේ උපත් නාමය පරාන්තක චෝල (2වන) වුණත් ඔහුගේ ලස්සනත්, බුද්ධියත් නිසාම සොළී ජනයා ඔහුව මේ නමින් හැඳින්වූවා. ගන්ඩරාදිත්තර් රජුගේ වියෝවත් සමඟම ඔහුගේ මලනුවන්ගේ පුත් සුන්දර චොලන් හට කිරුළ හිමි වෙනවා. මොකද ඒ වෙනකොට මදුරාන්දගන් බාල අවධියේ සිටි නිසා. සුන්දර චෝලන් බුද්ධිමත්, සන්සුන් ලෙස හැසිරුණු නිවී ගිය පුද්ගලයෙක්. සුන්දර චෝලන් තමන් පණ මෙන් ආදරය කල මන්දාකිනි දේවියව අතහැරලා දාලා චෝල දේශයේ යහපත උදෙසා රාජ්‍ය පාලනය බාර ගන්නේ. ශක්ති සම්පන්න වගේම වේදනාවන් ඉවසා දරාගත හැකි රජෙක්.

පෙරිය පලුවේට්ටරෛයර්
යුද්ධ කිරීමෙන්ම සිරුර පුරාම තුවාල 64ක් ඇති වූ බවට ගෞරවය ලබන චෝල දේශය රකින ප්‍රධාන කුළුණක්. මේ සමය වෙද්දි මහළු වයසේ පසු වුණත් මනා ක්‍රියාශීලී භාවයක් මොහු සතුව තිබුණා. කතාවේ රූප වල දක්වා තිබෙන ආකාරයට පෙරිය පලුවේට්ටරෛයර්ගේ උඩු රැවුල දෙකට බෙදී ගිහින් තිබෙනවා. (උඩින් තියෙන රූපයේ ඒ විදියට රැවුල ඇඳලා නැහැ. කකුලුවෙක් වගේ කියලා හිතා ගන්නකෝ.) මේ පලුවේට්ටරෛයර් වරුන් චෝල දේශයට කල සේවය වෙනුවෙන් චෝල ධජය හැරුණු කොට චෝල දේශයේ පලුවේට්ටරෛයර්ලාගේ තල් ගස් කොඩිය එසවීමට ඔවුන්ට අවසර හිමිවෙනවා. පලුවේට්ටරෛයර්ට වයස අවුරුදු 50 පැන තිබියදීත් නන්දිනී නම් තරුණ යුවතියව විවාහ කරගන්නවා. ඒ වුණත් විවාහ ජීවිතය සම්පූර්ණ වීමට නම් ඉටු කල යුතු කාරණාවන් ගැන කියමින් නන්දිනී කුමරිය පෙරිය පලුවේට්ටරෛයර්ට කොන්දේසි පනවනවා. ඒ කොන්දේසි අනුව පලුවේට්ටරෛයර්, සුන්දර චෝලන් කරිකාලන්ට පිරිනැමූචෝල රජ කිරුළ මදුරාන්දගන්ට ලබා දීමට යටත් රාජ්‍යවල පාලකවරුන් සමඟ එක් වී කුමණ්ත්‍රණය කරනවා. කෙටියෙන් කීවොත් පලුවේට්ටරෛයර් චෝල රාජ්‍යයම කනපිට හරවන්න හදන්නේ තමන්ගේ තරුණ වයසේ සිටින බිරිඳ සමඟ යහන්හත වීමටයි.

චින්න පලුවේට්ටරෛයර්
පෙරිය පලුවේට්ටරෛයර්ගේ බාල සහෝදරයා වගේම තන්ජාවූර් මාලිගයේ සෙනාධිති. තමන්ගේ අයියණ්ඩිය ගැන මහත් ගෞරවයක් වගේම ආදරයක් මොහුට තිබෙනවා. මදුරාන්දගන් කුමරුගේ මාමණ්ඩිය වන චින්න් පලුවේට්ටරෛයර්ට මදුරාන්දගන් සිහසුනට රැගෙන ඒමට ආශාවක් තිබුණා. චෝල දේශයට ආරක්ෂාව සපයන තවත් පරම්පරාවක ප්‍රධානියා වූ පෙරිය වේලාර් මොහුගේ ප්‍රතිවාදියායි. සහෝදරයා ගැන තියෙන අප්‍රමාණ ආදරය නිසාම නන්දිනී දේවිය ගැන විටින් විට පෙරිය පලුවේට්ටරෛයර්ට අවවාද කරනවා.

අනිරුද්ද බ්‍රහ්මරායර්
රාජ්‍යයේ මහ ඇමති. චෝල දේශයේ ප්‍රධාන මහ මොළකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ මහ ඇමති අනුරුද්ධ බ්‍රහ්මරායර්. දෙදෙනාගෙන් අනිත් කෙනා වෙන්නෙ කුන්දවෛ දේවිය. මොහුට නොදැනී චෝල දේශයේ කිසිම දෙයක් සිදු වෙන්නෙ නැහැ. බොහෝම බුද්ධිමත් වගේම රටේ ගනු ලබන වැදගත් තීරණයක් මොහුගෙන් විමසා බලා තමයි අරගන්නෙ. මහ ඇමතිවරයා ආල්වාර්කඩියන් නම් චර පුරුෂයාව ඔත්තු බැලීම සඳහා යොදවා ගන්නවා. වෛෂ්ණවරයෙක් නිසාවෙන් ආල්වාර්කඩියන් චර පුරුෂයෙක් බව සොයාගැනීම අපහසු දෙයක්.

මදුරාන්දගන්
ගන්ඩරාදිත්තර්ගේ පුතා. මදුරාන්දගන්ගේ මව වු සෙම්බියන් මහදේවිය ඔහට කුඩා කල සිටම ශිව භක්තිය කෙරෙහි උනන්දු කරවා රාජ්‍ය පාලනය පිළිබඳ ඔහුගේ සිතේ ආශාවක් ඇති නොවන ලෙසට කටයුතු සම්පාදනය කරනවා. සුනාර චෝලට ලබා දුන් කිරුළ මදුරාන්දගන් නිසි වයසට පැමිණෙද්දි නැවත ලබා දිය යුතුයි. ශිව භක්තිකයෙක් ලෙසින් හැදී වැඩුණු නිසවෙන් රාජ්‍ය පාලනයට කැමැත්තක් තිබුණේ නැහැ. ඒ වුණත් පෙරිය පලුවේට්ටරෛයර්ගේ බලපෑම නිසා මදුරාන්දගන්ට රජ පදවිය ලබා ගැනීමට කැමැත්තක් උපදිනවා.

මලයමාන්
සුන්දර චෝලන්ගේ මාමණ්ඩි වගේම කරිකාලන්, කුන්දවෛ, අරුන්මොළිගේ යන අයගේම සීයා. කුමාර වරුන් කුඩා කාලයේ සිටම යුද්ධ කිරීමට උනන්දුවක් ඇති කරන ලද්දේ ඔවුන්ගේ සීයා මලයමාන්. සුන්දර චෝලන් රෝගාතුර වීමෙන් පසු කරිකාලන් සමඟ යුද්ධයන් මෙහෙය වනවා. යුද්ධයත් සමඟම ජීවත් වුණ, ජීවත් වෙන මලයමාන් මේ සමයේදී කරිකාලන් සමඟ කාංචි නගරයේ වෙසෙනවා.

ඌමෛ රාණි/ මන්දාකිනි දේවි (මනඃකල්පිත)
ගොළු දේවියක්. අරුන්මොළි කුමරු කුඩා කාලයේදි කාවේරි නදියට වැටෙද්දි, මේ ඌමෛ රාණිය විසින් කුඩා අරුන්මොළිව බේරාගන්නවා. කලෙකදී ඇය සුන්දර චෝලගේ පෙම්වතියයි. සුන්දර චෝල ඇයව අතහැර චෝක දේශයේ ජනයා වෙනුවෙන් රාජ්‍ය පාලනය බාරගැනීමට යනවා. ඉන්පසු වීර පාණ්ඩිය රජු සමඟ විවාහ වෙනවා.(මම දන්න තරමින්.) මන්දාකිනි දේවිය විසින් පාණ්ඩිය රජුට දාව දරුවන් දෙදෙනෙකු බිහි කරනවා. ඉතිරිය කුතුහලයක් විදිහට තිබෙන්න හරින්නම්. කොහොමින් හරි ඇය නිතරම අරුන්මොළිව විවිධ උවදුරුවලින් ආරක්ෂා කරනවා.

සේන්දන් අමුදන්
මල් කරුවෙක් වන සේන්දන් අමුදන් චුන්න පලුවේට්ටරෛයර්ගේ සෙබළුන් වන්දියදේවන්ගේ පසුපස හඹා එද්දී ඔහුව තංජාවූර් සිට පලෛයාර් දක්වා රැගෙන යනවා. සේන්දන්ගේ මව මාලිගයේ සේවය කල ගොළු බිහිරි වානි අම්මල් ය. වානි අම්මල්ටත් කතාවේ චරිත අතරින් විශේෂ ස්ථානයක් හිමි වෙනවා.

පූංගවල්ලි (මනඃකල්පිත)
කොඩිකාරෛ හැදී වැඩුණු බෝට්ටුකාර කාන්තාවක්. ධෛර්යමත් වගේම ස්වාධීන ස්‍ත්‍රියක්. ඇයට අරුන්මොළි ගැන හිතේ ගැඹුරින්ම ආදරයක් තිබෙනවා. ඒත් පූංගවල්ලි ඒ ගැන අරුන්මොළිට කියන්නෙ නැහැ. අරුන්මොළි ඇයට සමුද්‍ර කුමාරි යන නම තබනවා. ඇය වරෙක වන්දියදේවන්ගේ පසුපස එන චින්න පලුවේට්ටරෛයර්ගේ සෙබළුන්ගෙන් ඔහුව බේරාගන්නවා. වන්දියදේවන් බොහෝ ආල බස් කතා කලත් පූංගවල්ලි කිසි ලෙසකින් වත් ඔහුට කැමැත්තක් දක්වන්නෙ නැහැ. ඒ වගේම ඇය විසින් අනතුරකින් අරුන්මොළිගේ ජීවිතය මරණයෙන් බේරාගන්නවා.

පාණ්ඩිය රාජ්‍යයේ හදිසි උවදුරු උදව්කරුවන්
මෙහි උදවුකරුවන් 30ක් පමණ සිටිනවා. මෙහි ලෙස රවිදාසා, සෝමන්, දේවරාලන්, ඉඩිම්බුන් කරි යන අය කල්ලියේ ප්‍රධානම හතර දෙනා ලෙසින් හැඳින්වෙනවා. මේ කල්ලියේ ප්‍රධානියා වෙන්නේ රවිදාසා. ඔහුගේ මල්ලි තමයි සෝමන්. නන්දිනී රහසේ ඔවුන්ගේ සැලසුම් සඳහා ධනයෙන් හා නොයෙකුත් ආකාරයෙන් උපකාර කරනු ලබනවා. මෙම කාලයේදි කතාවෙහි සඳහන්වන රාජ්‍ය මේ කතන්දරය සිද්ද වෙන කාලයේදී තමිල්නාඩුව හෝ ද්‍රවිඩයන්ගේ රට පාලනය ගෙන ගිය ප්‍රධානම පාලනයන් වන්නේ චේර, චෝල, පාණ්ඩ්‍ය හා පල්ලව යන රාජ්‍යයන් හතරයි.

• පාණ්ඩ්‍ය දේශය
පණ්ඩ්‍ය නමින් හැඳින්වෙන මොවුන්ට දිගු ඉතිහාසයක් පවතිනවා. අතීතයේ කුමරි නමින් හැඳින්වෙන මහද්වීපය පාණ්ඩ්‍යවරුන් පාලනය කල බව පැවසෙනවා. මිත්‍යා මතවල කියවෙන මේ කුමරි මහද්වීපය වම් පසින් මැඩගස්කරය දක්වාත්, දකුණු පසින් ඕස්ට්‍රේලියාව දක්වාත් ඉන්දියන් සාගරය වසා ගත් විශාල මහද්වීපයක්. එම මිත්‍යාව අනුව කන්ඩම් මහද්වීපයෙන් කැඩී ගොස් ඉතිරි වූ කොටස තමයි ලංකාව. මූවේන්දර් පාලන සමයේ වැදගත්ම ස්ථානය හිමි වෙන්නේ මේ පාණ්ඩ්‍යවරුන්ටයි. ඒ වගේම මහා භාරතයේදී පාණ්ඩව රජවරුන්ට මේ පාණ්ඩ්‍යවරුන් යුද්ධයේදි සහය වෙමින් සටන් කල බවට සඳහන් වෙලා තියෙනවා. පාණ්ඩ්‍යවරුන් මේ පොන්නියින් සෙල්වන් කතාවේ සිදුවීම් ඇති වූ සමයේදී රාජ්‍ය පාලනය ගෙන ගියේ මදුරෛ නගරයේ සිටයි. චෝල දේශය පෙර කලකදී පාණ්ඩ්‍යවරුන්ට අයත්ව තිබූ භූමියක් කොටසක්. චෝල රජු විජයාලය පාණ්ඩ්‍යවරුන් සමඟ යුද්ධ කර පාණ්ඩ්‍ය රාජ්‍යයෙන් කොටසක් ඩැහැගෙන චෝල දේශය විදිහට නිර්මාණය කරනවා. මේ පාණ්ඩ්‍යවරුන්ට කළු පැහැති සමක් උරුම වෙලා තිබුණා වගේම කළු පැහැයට ලොකු ගෞරවයක් දැක්වූවා. කාල වර්ණය සුබ වර්ණයක් විදිහට සැලකුවා. ඔවුන් ඇදහූ දෙවියන් පවා කළු පැහැතියි.(ක්‍රිෂ්ණා අදී) මේ පාණ්ඩ්‍යවරු අනුරාධපුර යුගයේ අවසාන සමයේදී අනුරපුරයට පහරදී එහි තිබූ වස්තුව කොල්ල කා ගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

පාණ්ඩ්‍ය දේශයේ කොඩියේ කහ පැහැති පසුබිමක නිවුන් මත්ස්‍යයින් නිරූපණය වෙනවා. මූවේන්දර් නම් චේර, චෝල, පාණ්ඩිය පාලන සමයේ ඔවුන් එකිනෙකා යුද්ධ කිරීමේදී තනිවම එක් අයෙක් පිටුපසින් ගොස් මරා දැමීම, හිස ගසා දැමීම ඔවුන්ගේ නීතියට පටහැණි වුණා. පොන්නියින් සෙල්වන් කතාවෙන් එපිට ඉතිහාසය බලද්දි, පලමුවන පරාන්තක චෝල රජුට උත්තමසීලන් නම් හතරවැනි කුමරයෙක් සිටි බව වාර්ථා වෙනවා. යුද්ධයකදී මේ උත්තමසීලන් කුමරුව පරාජය කරන වීර පාණ්ඩිය රජු විසින් ඔහුගේ හිස ගසා දමනවා. ඒ අවස්ථාවෙදි අරින්ජය චෝලන් හා ගන්ඩරාදිත්තර් ඒ වෙනුවෙන් සැළකිය හැකි තරමේ ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. එම අවාසනාවන්ත සිද්දිය චෝලයන් බරපතළ වරදක් ලෙසට සැළකුවා.

චෝල රජවරු කොයි තරම් බලපුළුවන්කාරකම් කලත් චෝලයන්ගේ අවසානය සිදුවෙන්නේ මේ පාණ්ඩ්‍යවරු අතින්. චෝල රාජ්‍යයේ ස්වර්ණමය යුගයෙන් කලකට පස්සෙදි චෝල රජවරුන් දිගින් දිගටම දුර්වල වෙන්න ගත්තා. මේ අවස්ථාවෙදි පල්ලව, චේර, සිංහල රාජ්‍යන්ගේ සහය ඇතිව චෝලයන්ව කුඩා කොටසකට සීමා කරන්න පසු කලෙකදී පාණ්ඩ්‍යවරුන්ට හැකියාව ලැබෙනවා. අවසානයේදී ඉතිරි වූ බල ප්‍රදේශයෙන් අවසන් චෝල රජු ද පන්නා දමා යලිත් පැරණි පාණ්ඩ්‍ය රාජ්‍යය නැවත සකස් කරානවා. එතැන් පටන් පාණ්ඩ්‍යවරුන්ගේ ස්වර්ණමය යුගය ඇරඹෙනවා. ඔවුන් විසින් ලංකාවේ උතුරු ප්‍රදේශයේ පාලනය ගෙන ගොස් තිබෙනවා.

• චෝල දේශය
විජයාලය චෝල රජු විසින් පාණ්ඩ්‍ය රජවරුන් සමඟ දරුණු ලෙසින් සටන් කර චෝල දේශය ගොඩ නගනවා. මේ සටනේදී විජයාලය චෝලගේ සේනාවෙන් තුන්කාලක් පමණ මිය ගිහින් තිබෙනවා. ඉතිරි වූ සෙබලුන් බියේ පලා යෑමට සූදානම් වෙද්දි විජයාල චෝල ලබාදුන් වදන් වලින් සෙබළුන් තුල නැවතත් විශවාසය ඇති කර යුද්දයට මුහුණ දීමට සූදානම් කරනවා. ඒ වගේම විජයාලය චෝල තුවාල 96ක් සහිතව නැගිට ගැනීමට පවා ශක්තියක් නොමැතිව සිටිනවා. සටනේ තීරණාත්ම මොහොතකයි පැවතුනේ. එහිදී තමාට තනිවම සටන් කිරීමට හැකි බව කියමින් අලියෙක් පමණක් ඉල්ලනවා. ඒත් ඒ වෙද්දි අලියන්, අශ්වයන් සියල්ලම යුද්ධයේදී මිය ගිහින් තිබුණා. ඒ බව විජයාලය චෝලට කියද්දි, ධෛර්යමත් සෙබළුන් දෙදෙනෙක්ට තමාව ඔසවාගෙන එන ලෙසට ඉල්ලා සිටිනවා. හරි හැටි හිට ගැනීමටවත් නොහැකි විජයාලය චෝලන් සෙබළුන් දෙදෙනෙකුගේ කරමත හිඳගෙන අතැති කඩු වලින් පාණ්ඩ්‍ය සේනාව කඩු ගාගෙන යන්නට වුණා. මේ විදිහට ඒ යුද්ධයෙන් විජයාලය චෝලන් ජය ගන්නවා.

උත්තමසීලන් කුමරුන්ව හිස ගසා මරා දැමීම ගැන චෝල රාජ්‍ය වංශය, පාණ්ඩියවරුන්ට සමඟ අප්‍රමාණ වෛරයක් ඇති කරගත්තා. සුන්දර චෝලන් රජ වීමෙන් පසු මේ සිදුවීම කරිකාලන්ට හා අරුන්මොළිට කියා ඇති බව සඳහන් වෙනවා. ඒ විදිහටයි කරිකාලන් පාණ්ඩිය රාජ්‍යයට විරුද්ධව යුද්ධ කරන්න යන්නෙ. යුද්ධයෙන් පැරදුණ වීර පාණ්ඩිය රජු පලාගොසින් පැල්පතක සැඟවෙනවා. කරිකාලන් කුමරු ලඳු, කැලෑ ආදිය පීරා සොයා ගොසින් වීර පාණ්ඩිය රජුගේ හිස ගසා මරා දමනවා. කඳින් වෙන් කල වීර පාණ්ඩිය රජුගේ හිස දිග රිටක අමුණා මලිගය ඉදිරියේ දිරාපත් වෙන තුරාවටම තිබෙන්නට කටයුතු කර තිබෙනවා. ඒත් එක්කම තමයි පාණ්ඩිය දේශය කරිකාලන් එක්ක තිබූ වෛරය තව තවත් වැඩිවෙන්නේ. මේ වීර පාණ්ඩිය රජුගේ මරණය වෙනුවෙන් පළිගන්න ඉන් පසුව කාලයකදී නන්දිනී තියුණු සැළසුම් එක්ක පලුවේට්ටරෛයර්ගේ භාර්‍යාව විදිහටම චෝල රාජ වංශය තුලට ඇතුල් වෙනවා.

චෝල දේශයේ කොඩියේ රතු පැහැති පසුබිමක බෙංගාල කොටියාට සමාන ඉරි වැටුණු කොටියෙක් කඩා පනින රූපයක් දැකගත හැකියි. චෝලයන් ජල ප්‍රවාහන මාර්ග ඔස්සේ විවිධ රටවල් ගොස් වෙළඳාම් කටයුතු සිදු කලා. තවත් පැත්තකින් නාවුක ප්‍රවාහන මාධ්‍යයෙන් වෙනත් රටවල්වල බල ප්‍රදේශ ආක්‍රමණය කර අල්ලා ගන්නවා. ඒ ආකාරයට බල ප්‍රදේශ ආක්‍රමණය කරන චෝලයන් වරෙක ලංකාව සම්පූර්ණයෙන්ම වාගේ පාලනයට නතු කරගන්නවා. තවත් රටවල බල ප්‍රදේශ සතු කර ගන්නා චෝලයන් ඔවුන්ගේ ශිව භක්තිය ආදියේ බලපෑම ඒ රටවලට කිඳා බස්වනවා. රාජ රාජ චෝලන් ඔහු විසින් තනන ලද කෝවිල නිසාවෙන් වගේම වෘත්තීයමය සන්නද්ධ හමුදාවක් නිර්මාණය කිරීමත් නිසා දමිළ ඉතිහාසයේ ඔහුට වැදහත් ස්ථානයක් හිමිවෙනවා. ඒ කියන්නෙ ඔහුගේ කාලයේ යුද්ධ කිරීමත් රස්සාවක් විදිහට පවත්වාගෙන ගියා. අනෙත් දෙවිවරුන්ට සම තැනක් හෝ නොදුන්න චෝලයන් ශිව භක්තිය පමණක් තම රාජ්‍යය පුරාම ප්‍රවර්ධනය කලා. කියන විදිහට ඒ කාලේ පොදුවේ හින්දු කියන නමින් මේ සියලු බැතිමතුන්ව නම් කරලා තිබිලා නැහැ. ශිව බක්තිකයන්, විශ්ණු භක්තිකයින් විදිහට ඔවුන්ව හඳුන්වලා තියෙන්නෙ. චෝලයන්ගේ පාලනයේදී අහිතකර ලෙසින් බදු එකතු කිරීම ජනයාට මහත් පීඩාවක් වුණ බව සඳහන් වෙනවා. සොළීන් ලංකාව හැඳින්වූයේ ඊලම කියලා. පසු කලෙක ලංකා කියන එක දෙමළෙන් ව්‍යාකරණ නීතියක් නිසා ඉලංකා වෙනවා. දෙමළ ජනයා කෙටි කර කතා කරන්න දැක්වූ ඇලුම්කම නිසාම ඉලංකා, ඉලංගෛ වෙනවා.(උදා:- චෙන්නපට්ටිනම් -> චෙන්නෛ) අපේ රටට ලංකාව යන නම යොදා ගැනීම ගැටළුවක්. මොකද තෙළිඟු භාෂාවෙන් ලංකාව කියන්නේ දූපතට. රාමායනයේ පවා ‘ලංකාව’ විදියට හඳුන්වලා තියෙන්නෙ, දූපත කියන අදහසින් කියලත් සඳහන් වෙනවා.

• වෙනත් රාජ්‍යයන්
මේ කතාව ගමන් කරන රාජ්‍ය දෙක හැරුණු විට තවත් රාජ්‍ය කිහිපයක් සමඟ කතාව සම්බන්ධ වෙනවා. මෙහි කතාව ගෙන යන චරිතය වන වන්දියදේවන් වල්ලම් නම් කුඩා රාජ්‍යයක කුමාරයෙක්. ‍කරිකාලන් රාශ්ට්‍රකූට රාජ්‍යයට විරුද්ධව සටන් කරද්දි, වන්දියදේවන් කරිකාලන් සමඟ එකතු වෙනවා. කරිකාලන්ට පල්ලව දේශයේ පාර්තිබා නම් මිත්‍රයෙකු සිටියා. මේ රාජ්‍යවල කොඩි පිළිබඳවත් කතාවේ සඳහන් වෙනවා. රාශ්ට්‍රකූට දේශයේ කොඩියේ හිස් දෙකක් සහිත ගරුඬ පක්ෂියෙක්ද, කේරළ (චේර) දේශයේ කොඩියේ කහ පැහැති පසුබිමක දුන්නක් හා ඊතලයක්, පල්ලව දේශයේ කොඩියේ රතු පැහැති පසුබිමක සිංහයා හා ගොනාගේ සම්මිශ්‍රණ රූපයක්ද නිරූපණය වෙනවා.

• ලංකාව
මේ කාලයේදි ලංකාවේ පාලනය ගෙන ගියේ පස්වැනි මිහිඳු රජු. අනුරාධපුර යුගය අවසන් වන්නේ මේ රජුගෙන්. මෙම රජුගේ පාලනය වඩාත් අසාර්ථක දුර්වල පාලනයක්. මොහුගේ අනිසි ප්‍රතිපත්ති නිසාවෙන් මහජනයා බදු ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. මේ රාජ රාජ රජුගේ ආක්‍රමණිය සිද්ද වෙන්නේ ක්‍රි.ව. 983දි. විටෙක යුද්ධයෙන් පසුබැස රුහුණ වෙතට පලා යනවා. මොහුගේ පාලන සමයේදී පලමු රාජ රාජ රජුගේ පුත් පලමුවන රාජේන්ද්‍ර විසින් ආක්‍රමණය කරනු ලබනවා. මෙම ආක්‍රමණයේදි රජු ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. කෙසේ හෝ චෝල ආක්‍රමණිකයන්ට රුහුණේ උතුරු ප්‍රදේශ හැරුණුකොට රුහුණ අල්ලා ගන්නට බැරිව තිබෙනවා. පස්වැනි මහින්ද රජුගේ පාලනය අල්ලාගෙන සොළීන් පොළොන්නරුව තමන්ගේ රාජ්‍ය පාලන කේන්ද්‍රස්ථානය ලෙස තෝරා ගන්නවා. අවුරුදු 58 චෝලයන් පාලනය ගෙන යනවා. රුහුණේ රජ කමට පත් වූ විජයබාහු පොළොන්නරුව කිහිප විටක් ආක්‍රමණය කර බලය අල්ලා ගන්නවා.

5 වැනි මහින්ද රජුගේ පාලන සමයේදී ලංකාවේ භික්ෂූන් නිකාය 3කට බෙදී තිබෙනවා. ඒ වගේම මෙ කාලයේදි ථේරවාදය හා වෛතුල්‍යවාදය යන බේදය තදින්ම පැවතුණා. වෛතුල්‍යවාදයේ ඉගැන්වීම්වලිම් කියන්නේ බුදු වීම පමණක් වෛතුල්‍යවාදයේ අරමුණ බවයි. ථේරවාදයේදි බුදු, පසේ බුදු හෝ රහත් වීමට හෝ නිවන් අවබෝධ කරගැනීමට උපදෙස් දෙනවා. ඒ අනුව තමයි දෙනව නම් ලොකුම පංගුව ඕනේ කියන්නා වගේ වෛතුල්‍යවාදය මහායාන විදියටත්, ථේරවාදය හීනයාන විදිහටත් හඳුන්වන්නේ. වෛතුල්‍යවාදයට හින්දු ආගම්වල ඉගැන්වීම් පවා ඈදාගෙන තිබුණා. භික්ෂුවක් මෙන් පැවිදි ජීවිතයකට කොටු වනවාට වඩා ඔවුන් සිවුරු හැඳගත් ආචාර්ය වරුන් විදිහට ලෞකික ජීවිතයක් තුල හැසිරුණා. පොන්නියින් සෙල්වන් කතාවේ සඳහන් වෙන විදිහට වෛතුල්‍යවාදී මහණුන් අරුන්මොළි කුමරුට ලංකාවේ රජකම බාරගන්නා ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා. කොහොම හරි පළමුවන පරාක්‍රමබාහු රජු රජවීමෙන් පසුව වෛතුල්‍යවාදය ලංකාවෙන් සහමුලින්ම අතුගා දමනවා. එක් අවස්ථාවක මේ වෛතුල්‍යවාදීන් පිරිසක් හංවඩු ගසා රටෙන් නෙරපා හැර තිබෙනවා. වෛතුල්‍යවාදය ඉන්පස්සෙ ලංකාවෙන් නැතිවෙලා ගියේම නැහැ. වර්ථමානයේ ථේරවාදය, වෛතුල්‍යවාදය වෙනස් කරගන්න බැරි තරමට ථේරවාදී ධර්මයට වෛතුල්‍යවාදය කාවද්දාගෙන තියෙනවා.

පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ ඉතිහාසය.
මේ චිත්‍රපටයට පාදක වන පොන්නියින් සෙල්වන් නව කතාව කල්කි ක්‍රිෂ්ණමූර්ති නම් ලේඛකයා විසින් සත්‍ය සිදුවීම් සහ ප්‍රබන්ධ මිශ්‍රණයෙන් නිර්මාණය කරන ලද්දක්. පොන්නියින් සෙල්වන් යන්නෙහි තේරුම පොන්නිගේ පුත්‍රයා යන්නයි. කල්කි මේ කතන්දරය ලියන්න කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවට ඇවිත් තියෙනවා. ඉතිහාසය ගවේෂණය කරමින් කෝවිල් වැනි පුරාණ ස්ථානවල සංචාරය කොට මේ සඳහා තොරතුරු එක් රැස් කොට තිබෙනවා. ලංකාවේ සොබාව, කඳු, ගුහා, කෝවිල් ගැන අධ්‍යයනය කර ඒ අනුව කතාව රචනා කරලා තියෙනවා. මේ කතාව මුලින්ම සතිපතා සඟරාවක එලි දැක්වුනේ. කල්කිගේ මේ කතන්දරය කියවන්නම සඟරාව මිලදී ගන්න සතියක් සතියක් ගානේ මිනිස්සු පොරකාලා තියෙනවා. අධික ඉල්ලුමක් තිබුණ මේ සඟරාවේ පිටපත් 7000ක් පමණ එක් මුද්‍රණයකදී විකිණී තිබෙනවා. කල්කි අවුරුදු 3ක් පමණ මේ කතාව සතියෙන් සතිය සඟරාවට රචනා කර තිබෙනවා. 1955දි මේ කතාන්දරය එකතු කර පොත් පහක් විදියට එලි දක්වනවා. මේ නව කතාව පිටු 2200ක් සහ කොටස් පහකට බෙදා තියෙන මේ කතාන්දරය තනි චිත්‍රපටයකට ගේන එක විශාල අභියෝගයක්. අවසානයේදි මේ කතාන්දරය කොටස් 2ක් විදිහට තිර පිටපත් ලියා නිර්මාණය කරන්න තීරණය කරනවා. මෙහි නිෂ්පාදන වැඩකටයුතු ආරම්භ කෙරුණේ 2019දී සිටයි.

මෙම නවකතාව ප්‍රකාෂයට පත් කිරීමෙන් පසුව ජනතාවගේ මහත් ප්‍රසාදයට පත් වුණා. මේ නවකතාව චිත්‍රපටයක් විදිහට නිර්මාණය වෙනතුරු මේ පොත රස වින්ද පාඨකයින් පුදුමාකාර ආශාවකින්, බලාපොරොත්තුවකින් හිටියේ. 1955දි මේ නවකතාව එලි දැක්වුණ දා ඉදන්ම අවුරුදු 70ක් පුරාම මේ කතාව ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන්න නොයෙකුත් පුද්ගලයින් විවිධාකාරයෙන් උත්සහ කරනවා. එහි පලමු තැන හිමි වෙන්නෙ එම්. ජී රාමචන්ද්‍රන්ට. එම්. ජී. ආර්ට මේ නවකතාව සිනමාවට නගන්න තිබුණ දැඩි පෙරැත්තකම නිසාම කල්කිට ඉ.රු. 10, 000ක(එකල) මුදලක් ලබා දී මේ කතාවේ අයිතිය මිලදී ගන්නවා. චිත්‍රපටයේ නිෂ්පාදන වැඩ කටයුතු ආරාම්භ කරනවාත් එක්කම එම්. ජී. ආර්. හදිසි අනතුරකට ලක් වෙනවා. ඒ නිසා ඔහුට මාස 6ක් පමණ විවේක ගැනීමට සිදු වෙනවා. ඔහු සුව වීමෙන් පසුව චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා ප්‍රකාෂණ අයිතිය තවත් අවුරුදු 4ක් දීර්ඝ කරගන්නවා. ඒ අවුරුදු 4 ඇතුලෙදිත් චිත්‍රපටයේ වැඩ පටන් ගන්න බැරි වෙනවා.

එහෙම වෙද්දි අන්තිමේ රාමචන්ද්‍රන් මිය යනවා. ඉන් පස්සෙ රජිණි, කමල් මේ කතාව ඔවුන් දෙදෙනාව යොදාගෙන කවුරුන් හෝ නිර්මාණය කරයි යන බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියා. ඒ වගේම දෙදෙනාටම මෙහි චරිත රඟ දැක්වීමට ඒ තරම් හිතේ ආශාවක් තිබුණා. ඒත් ඔවුන් දෙදෙනාටත් මේ හීනය හැබෑවක් කරගන්න බැරි වෙනවා. රජිණි-කමල්ටත් බැරි වුණා නම් ඊලඟට මේක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියන එක ගැටළුවක් වෙලා තිබුණා. ඉන් පස්සෙ මට මේක කරන්න පුළුවන් කියලා මනි රත්නම් මේ ඓතිහාසික අභියෝග මුහුණ දෙනවා. ඒ අවස්ථාවෙදි ඔහුට කමල් හසන්ගේ සහයද ලැබෙනවා. කමල් මේ චිත්‍රපටයේ චරිතයක රඟපෑමටත්, අවස්ථා කිහිපයකදී අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වීමේත් එකඟතා මත මේ වැඩේට අතගහන්න සූදානම් වෙනවා. ඒ අවස්ථාවෙදිත් දෙදෙනාගෙම උත්සාහය අසාර්ථක වෙනවා.

ඉන් අවුරුදු ගණනාවකට පස්සෙදි මනිරත්නම් හා ජෙයාමෝහන් සහයෝගයෙන් මේ නවකතාව කොටස් දෙකකට බෙදා තිර රචනය කර සිනමාවට නගන්න තීරණය කරනවා. මුලින්ම දෙමළ, තෙළිඟු භාෂා දෙකෙන්ම මෙහි රූගත කිරිමේ අදහසින් මනි රත්නම්ගේ මුදලින් ඉන්දියානු රු. කෝටි 100ක් යොදා නිෂ්පාදනය වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් වුණා. ඒ වගේම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කෙරීගෙන අතරමග විශාල මුදලක් මේ වෙනුවෙන් යෙදවීමට හැකි නිෂ්පාදකවරයෙකුගේ සහය ලැබෙයි කියන බලාපොරොත්වෙන් තමන් යෙදූ මුදලින් චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කිරීමට උත්සාහ කරනවා. මේ චිත්‍රපටයේ සංගීතය සැපයීමට ඒ. ආර්. අහුමාන්වම තමයි ඕනෑ කියලා තනි කකුලෙන් හිට ගත්ත මනී ඒ වෙනුවෙන් රහුමාන් ලවා ගිවිසුමක් අත්සන් කරගන්නවා. ඉස් ඉස්සෙල්ලාම වල්ලවරායන් වන්දියදේවන් චරිතය වෙනුවෙන් විජයිව සහ ආදිත්‍ය කරිකාලන් චරිතයට මහේෂ් බාබු යන දෙදෙනා තෝරා ගන්නවා. දෙදෙනා එක්කම කතා කර ඒ වෙනුවෙන් එකඟ කරගන්නවා. ඒ වගේම මේ ව්‍යාපෘතියේ මුල්ම නළු පිරිස විදිහට ආර්යා, සත්‍යරාජ්, වික්‍රම්, අනුෂ්කා, ප්‍රියංකා, සූරියා, විෂාල් ආදී නළු නිළියන් සමඟ කතා කර දින වෙන්කර ගන්නවා. හා හා පුරා කියලා මයිසූර් මාලිගය සහ තවත් කෝවිල් යොදාගෙන මෙහි රූගත කිරීම් ආරම්භ කරන්න ලැහැස්ති වුණා. මනිරත්නම් සෙට් යොදා ගැනීමෙන් තොරව (පසුතල ඉදි කිරීම්.) භෞතික ස්ථානවල රූගත කිරීමෙන් ව්‍යාපෘතියේ වියදම අඩු කරගන්න බලාපොරොත්තු වුණා. ඒ වුණත් මාලිගයේත්, කෝවිලේත් රූගත කිරිම් වලට ඉඩ ලබා දෙන්නෙ නැහැ. මේ නිසා චිත්‍රපටය නිම කිරීමට කෝටි 100 මදිවෙන නිසා මනී මේ ව්‍යාපෘතිය අතහැර දමනවා.

ව්‍යාපෘතිය අතහැරලා දැම්මට මනිරත්නම්ගේ හීනය නම් අතහැරලා දැම්මෙ නැහැ. 2018 වර්ෂයේදි ලයිකා ප්‍රඩක්ෂන් නිෂ්පාදන ආයතන ඉ.රු. කෝටි 550 – 600 අතර මුදලක් යටකර ඉන්දියාවේ අධිකම වියදම/අයවැය සහිත චිත්‍රපටය 2.0 (2018) තනනවා. ඒ අතරෙදි මනි රත්නම්ගේ සිහින ව්‍යාපෘතිය ගැන දැනගන්න ලයිකා ප්‍රඩක්ෂන් ආයතනය 2019 ජනවාරියේදි මනිරත්නම් එක්ක මේ වෙනුවෙන් අත්වැල් බැඳගන්නවා. ඒ මොහොතෙදි මනිරත්නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට විජයි සේදුපති, ජෙයම් රවී, සිම්බු යන මෙහි ප්‍රධාන චරිත වලට නළුවන් තෝරාගෙන තිබුණා. ඒ වගේම බොලිවුඩයෙන් බිග් බීවත්, ඓශ්වර්යා රායිවත් මෙයට ඇතුලත් කරගන්නවා. දෙන දෙයියෝ වගේ විජේ සෙදුපති අවුරුද්දකට චිත්‍රපටි 10 ක් විතර දෙන නිසා සේදුපතිව රූගත කිරීම්වලට දින වෙන් ගැනීමෙදි ගැටළුවක් ඇති වෙනවා. මෙහෙම පරක්කු වෙද්දි සේදුපති මෙයින් ඉවත් වෙනවා. මේ විදිහට සිම්බුත් තවත් නළු නිළියන් කිහිප දෙනෙකුම මාරුවෙන් මාරුවට ව්‍යාපෘතියෙන් ඉවත්ව යද්දි මෙහි නිෂ්පාදන වැඩ කටයුතු තවත් කල් යනවා. ඉන් මාස හයකට පසුව 2019 ජුනි මාසයේදි කාර්ති, වික්‍රම්, ජෙයම් රවී, ත්‍රිෂා, සරත්කුමාර්… යන මේ ව්‍යාපෘතියේ අවසන් නළු නිළියන් පිරිස තහවුරු කරගන්නවා. 70%ක් පමණ රූගත කිරීම් කටයුතු අවසන් වෙද්දි කොරෝනා ව්‍යාධිය හිස එසවීමත් එක්ක ඉතිරි වැඩ කටයුතු කරගැනීමට ප්‍රබල බාධා ඇති වෙනවා.

පොන්නියින් සෙල්වන් නිෂ්පාදනය වෙන්නේ ඉ. රු. කෝටි 500ක වියදමින්. එම මුදල මෙහි පලමු භාගය හා දෙවන භාගයට වැය වූ මුදල විදිහට සැලකෙනවා. මනිරත්නම්ගෙන් පෙරිය පලුවේට්ටරෛයර්ගේ චරිතය රජිණි ඉල්ලා තිබෙනවා. රසිකයින්ගෙන් මට ගුටි කන්න බැහැයි කියා මනිරත්නම් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.

කලින් කිව්වා වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මැඩ්‍රාස් ටෝකීස් බැනරය යටතේ මනිරත්නම් සහ ලයිකා ප්‍රඩක්ෂන් බැනරය යටතේ අල්ලිරාජා සුබාස්කරන්. මේ අල්ලිරාජා ස්වර්ණවාහිනී අධිපති කියලා දන්නවා ඇති. දැනට ඉන්දියාවේ වැඩි වියදම් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය වෙලා තියෙන්නෙ මේ ලයිකා ප්‍රඩක්ෂන් හරහා. ශංකර්ගේ ඉන්දියන් 2 නිෂ්පාදනය කරන්නේත් මේ ආයතනය විසින්. ලයිකා නිෂ්පාදනය කල මේ වසරේ නිකුත් වුණ Don (2022) චිත්‍රපටය ඉ. රු. කෝටි 100ට වඩා ආදායම් ලබමින් සාර්ථකත්වයට පත් වුණා.

දෙමළ සාහිත්‍යයේ විශිෂ්ඨතම නව කතාවක් විදිහටයි හඳුන්වන්නේ. දමිළයන්ට තමාගේ ඉතිහාසය අමතක කිරීමට ඉඩ නොදීමේ අරමුණින් කල්කි මේ කතාව ලියන්නේ. වන්දියදේවන්, ආල්වාර්කඩියන්, නන්දිනී, පූංගවල්ලි යන චරිත ප්‍රබන්ධයක් වුණත් වන්දියදේවන් නමින් පුද්ගලයෙක් සැබෑවටම ඉඳලා තියෙනවා. ඔහු කුන්දවෛ කුමරියගේ ස්වාමිපුරුෂයා ලෙසට සෙල්ලිපිවල සඳහන්ව ඇති බව කියනවා.

පොන්නියින් සෙල්වන් නවකතාවේ සිදුවීම්වලට පෙර සිදුවීම්වල සංක්ෂිප්තය.

මාස අටක් ඇතුලත සිදුවීම් තමයි මේ කතාන්දරය ඇතුලේ ගලාගෙන යන්නෙ. ඔටුන්න පිටුපස සිදුවන දේශපාලනය හා කුමණ්ත්‍රණ වටා මේ කතාව ගමන් කරනවා. චරිත බොහෝ ප්‍රමාණයක් හමුවන මේ කතාවේ ගලාගෙන යන්නේ චරිත දෙකක් අතරෙ ඇතිවන ප්‍රතිවිරෝධය ගැනයි.

කතාව සිදුවන කාලය 10 වැනි සියවස. (කි. ව. 900 දි පමණ) මේ සමයේ දමිළ රාජ්‍යයන්වල වඩාත් බලවත් රාජ්‍යයන් දෙක වුණේ පාණ්ඩිය රාජ්‍යය සහ චෝල රාජ්‍යය. ඔවුගේ පාලනයට යටත්ව පල්ලව, චේර වැනි බොහෝ රාජ්‍ය තිබී තියෙනවා. මේ කාලය වෙද්දි චෝල දේශය පාලනය ගෙන යන්නේ සුන්දර චෝලන් විසින්. චාරිත්‍රානුකූල නොවන ආකාරයටයි මේ සුන්දර චෝලන්ට රජකම හිමි වෙන්නේ. ඊට හේතුව නම්, සුන්දර චෝලන්ගේ සියා ප්‍රනාන්තක රජුට දරුවන් තිදෙනෙක් හිටියා. (ඉතිහාසයේ හතරවැන්නෙක් ගැන කියවේ) පලවෙනි පුතා යුද්දයෙදි මිය යනවා. දෙවෙනි පුතා ගන්ඩරාදිත්තර්. ඔහුගේ භාර්‍යාව සෙම්බියන් මහා දේවි. ගන්ඩරාදිත්තර්ට තිබූ දැඩි ශිව භක්තිය නිසාම රජ පදවිය උවමනා නැතැයි කියා තිබෙනවා. ඒත් වැඩිමහල් කුමරු විදිහට පදවිය බාරගන්නට සිදු වෙනවා. කොහොම වුණත් ගන්ඩරාදිත්තර් අවාසනාවන්ත විදිහට රෝගාතුර වී මිය යනවා. ගන්ඩරාදිත්තර් මිය යද්දී ඔහුගේ පුත් මදුරාන්දගන් කුඩා අවදියේ (අත දරුවෙක්) පසුවුණා. ඒ නිසාවෙන් ගන්ඩරාදිත්තර්ගේ සහෝදරයා අරින්ජය චෝලන් හට සිහසුන හිමි වෙනවා. ඒත් අරින්ජය චෝලන් රජු ලෙස පත් වී වසරක් යන්නටත් කලින් මිය යනවා. මේ අවස්ථාවෙදි සුන්දර චෝලන් හට චෝල දේශයේ යටත් රාජ්‍ය පාලකවරුන්ගේ එකඟත්වයෙන් කිරුළ පලන්දනවා. ඒත් මේ කිරුළ ඔහුට හිමි වෙන්නේ මදුරාන්දගන් නිසි වයසට පැමිණෙන තාක් කල් විතරයි. මදුරාන්දගන් රජකම දැරීමට සුදුසු වයසේදී, සුන්දර චෝලන් විසින් මදුරාන්දගන්ට හිමි කිරුළ නැවත දිය යුතුයි. ඒ වුණත් සෙම්බියන් මහදේවි මදුරාන්දගන්ව ශිව භක්තිකයෙක් ලෙස ඇති වැඩි කරනවා. ඒ නිසාවෙන් මදුරාන්දගන්ට රජ කිරුළ ගැන කිසිම කැමැත්තක් තිබුණේ නැහැ.

සුන්දර චෝලන්ට කරිකාලන්, අරුන්මොළි නම් පුතුන් දෙදෙනෙක් වගේම කුන්දවෛ නම් දියණියක් සිටියා. චෝල රාජ්‍යය ආරක්ෂා කීරීමේ වගකීම පලුවේට්ටරෛයර් පරම්පරාවට පැවරිලා තිබුණා. ඒ වගේම මොවුන් චෝල රාජවංශයට වඩා හිතවත් පිරිසක්. මේ වෙද්දි පලුවේර් කුලයේ රජු වූයේ පෙරිය පලුවේට්ටරෛයර්. පෙරිය පලුවේට්ටරෛයර් හා චින්න පලුවේට්ටරෛයර් සහෝදරවරු චෝල රාජ්‍යයට ආරක්ෂාව සපයමින් සිටියා. සුන්දර චෝලන් තමන්ගේ මාලිගයට සමීපයේම පලුවේට්ටරෛයර්ලාට මාලිගයක් තනා දී තිබෙනවා. පලුවේට්ටරෛයර් පරම්පරාව ඇරුණම චෝල දේශයේ ආරක්ෂාව බලා කියා ගැනීමට වේලාර් නමින් තවත් පරම්පරාවක් පැවතියා. එහි ප්‍රධානියා පෙරිය වේලාර් චෝල රාජ්‍යයේ යුධ සෙන්පති තනතුර හෙබවූවා. ඒ වගේම ඔහුගේ මලනුවන් චින්න වේලාර්ද වේලාර් කුලයේ තවත් ප්‍රධනියෙක්. චින්න වේලාර් ලංකාවෙදි වූ යුද්ධයකදී මිය යනවා. චින්න වේලාර්ගේ දියණිය තමයි වානතී දේවිය. පලුවේට්ටරෛයර් කුලයත්, වේලාර් කුලයත් එකිනෙකාට විරුද්ධ පරම්පරා දෙකක්. තවත් කුලයන් කිහිපයකගේ සහයෙන් තමයි චෝල දේශය සුරක්ෂිතව පැවතුණේ.

සුන්දර චෝලන්ගේ මී සීයා විජයාලය චෝලන් එකල සිටි පාණ්ඩියවරුන් පරජය කර චෝල දේශය පිහිටුවන්නේ. මේ චෝල දේශයත් පාණ්ඩිය දේශයත් විටින් විට යුද්ධ පැවතුණා. සුන්දර චෝලන්ගේ කාලයේ පාණ්ඩිය දේශය පාලනය කලේ වීර පාණ්ඩියන්. වීර පාණ්ඩියන් යුද්ධ කර සුන්දර චෝලන්ගේ පියාවත්, බාප්පවත් උපක්‍රමයකින් හිස ගසා මරා දමනවා. චෝල රාජ වංශයට සිද්ද වුණ මේ අවමානය කරිකාලන්, අරුන්මොළි කුමර වරුන්ගේ සීයා (අම්මාගේ පියා) මලයමාන් කුඩා කලදීම ඔවුන්ට කියා දී, ඒ වෙනුවෙන් පළි ගැනීමට දිරිමත් කරනවා. කරිකාලන් කුඩා කාලයේදි මලයමාන් එක්ක යුද්ධ පිටිවලට යනවා වගේම යුද සටන් කලාව ඉගෙන ගන්නවා.

කරිකාලන්, කුන්දවෛ, අරුන්මොළි සහ නන්දිනී නම් දැරිවියත් ඇති දැඩි වෙන්නේ ගන්ඩරාදිත්තර් රජුගේ බිසව සෙම්බියන් මහ දේවිය ලඟ. රජ මාලිගාවේ ඇති කෝවිලට පුද පූජා කිරීමට ඒ ආසන්නයේ විසූ පවුලක් පැමිණෙනවා. ඒ තමයි ආල්වාර්කඩියන්ගේ පවුල. ආල්වාර්කඩියන් තරුණ අවදියේදි ඔහුගේ පවුලේ අය අලුත උපන් දැරිවියක් හදාවඩා ගන්නවා. ඒ දැරිවිය තමයි මේ නන්දිනී. ඒත් නන්දිනී හැබෑවටම කාගේ කවුද කියන එක අභිරහසක්. ඒ වගේම චින්න වේලාර්ගෙ දියණිය වානතී කුමරියත් කුන්දවෛ එක්කමයි හැදී වැඩෙන්නේ. පෙරිය වේලාර් වානතීව, අරුන්මොළි කුමරුට විවාහ කරවීමේ ආසාවක් තිබුණා. මේ නිසාම කුඩා කාලයේ පටන්ම කුමරියගේ හිතේ අරුන්මොළි කුමරු ගැන කැමැත්තක් ඇති වී තිබුණා. සෙම්බියන් මහ දේවි රජ කුමාරවරුන් හා කුමරියට සෙල්ලම් කිරීමේදී නන්දිනීවත් එකතු කරගන්න කියලා ඉල්ලනවා. මේ දරුවන් එකට සෙල්ලම් කරමින් හැදී වැඩුණත් කුන්දවෛ හා නන්දිනී දෙන්නට දෙන්නා අතරේ වෛරයක් ගොඩනැගෙමින් තිබුණා.

කරිකාලන් කුමරු නන්දිනීට කුඩා කල පටන්ම ආදරය කරන්න ගන්නවා. එක් විටෙක කරිකාලන් කුමරු තමන්ගේ නැගෙණිය කුන්දවෛට, ඇයට වඩා නන්දිනී ලස්සනයි කියලා කියනවා. මේවයින් තමයි දෙන්නා අතරේ ප්‍රතිවිරෝධය තව තවත් වැඩි වෙන්නෙ. ඒ වගේම නන්දිනීටත් රජ මාලිගාවේ සැප සම්පත් දැකලා ඊර්සියාවක් ඇති වෙනවා. කොහොමින් හරි කලකදී නන්දිනීත් කරිකාලන්ට ආදරය කරන්න ගන්නවා. දෙන්නට දෙන්නා ආදරය කරන වග දැනගන්න කුන්දවී කුමරිය, සෙම්බියන් දේවියව ඒ ගැන දැනුවත් කරනවා. සෙම්බියන් මහ දේවි නන්දිනී හදාවඩා ගත් පවුල පලෛයාර් සිට බොහෝ දුරකට පිටත් කර හරිනවා. කරිකාලන්‍ කුමරුන්ට, ඇය ගැන නොසිතා යුද්දය ගැන අවධානය දී, වීර පාණ්ඩිය රජුගේ හිස ගසා දමන ලෙසට වූ පොරොන්දුව ඉටු කරන ලෙසට සෙම්බියන් දේවිය ඉල්ලා සිටිනවා. එදායින් පස්සෙ කරිකාලන්ට බොහෝ කලක් යනතුරු නන්දිනීව හමුවෙන්නෙ නැහැ. නන්දිනී ගැන සිතමින්, ඒ වේදනාව අමතක කරගන්න යුද්ද කරමින් කාලය ගත කරා.

කරිකාලන් දැනගෙන හිටියේ දේවල් දෙකයි. එකක් ආදරය. අනෙත් එක යුද්ධය. කරිකාලන් ආදරය අමතක කරන්න යුද්ධ කරන්න පටන් ගත්තා. චෝල – පාණ්ඩිය රාජ්‍ය අතර විරෝධය බොහෝ කල් සිටම පැවතගෙන එන්නක්. පාණ්ඩිය රජවරුන් හතුරන් වැඩි වැඩියෙන් මරා දමන්නට බලා ඉන්න, දැඩි ප්‍රතිපත්ති අනුගමනය කලා. චෝල රජවරු ඊට ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරමින් රාජ්‍ය පාලනය ගෙන ගියා. මේ කාලයේදි සුන්දර චෝලන් නැවතත් යුද්ධයකට යාමට බැරි තත්වයෙන් රෝගතුර වෙනවා. සම්පූර්ණයෙන්ම විවේක ගත යුතු බවට වෛද්‍යවරු අවවද කරනවා. සුන්දර චෝලන්ට සුව් කල නොහැකි මානසික වේදනාවක් තිබෙන බවත් කියනවා. ඒ නිසාවෙන් ඔහුගේ පුත් කරිකාලන්, මාමණ්ඩිය මලයමාන් සමඟින් යුද්ධ කිරීමට උතුරේ පාණ්ඩිය රාජ්‍යය වෙතට පිටත්කර හරිනවා. ඒ වගේම අරුන්මොළිව සේනව සමඟින් ලංකාවට එරෙහිව යුද්ධ කිරීමට පිටත් කර හරිනවා. එකල ලංකාවේ පාලන කල රජු (නම නිෂ්චිත නැත) නයයි මුගටියයි වගේ ඉන්න පාණ්ඩිය හා චෝල රාජ්‍ය දෙක අතරේ ගැටුම් අවුළුවන්න දායක වුණා කියලා කියනවා.

ලංකාවේ රජු පාණ්ඩිය දේශය සමඟ මිතුරු පිළිවෙතක් අනුගමනය කරමින් චෝල දේශයට එරෙහිව යුද්ධ කිරීමට පොළඹවනු ලැබුවා. මේ ලංකා රජුව චෝලන්ගේ පාලනයට යටත් කර ගන්නයි මේ ආක්‍රමණය සිද්ද වෙන්නේ. කුන්දවෛ දේවිය තමයි අරුන්මොළි කුමාරයාට අවවාද, හොඳ නරක කියා දෙමින් බලාගත්තෙ. කුන්දවෛ කුමරිය, වානතී දේවිය හා සෙම්බියන් මහ දේවිය පලෛයාර් හි වාසය කලා. මොකද තංජාවූර් පාලන නගරය ලෙස තෝරාගන්නට පෙර පාලන නගරය වුණේ පලෛයාර් නුවරයි. සුන්දර චෝලන් නව පාලන නගරය විදිහට තංජාවූර් තෝරාගෙන පාලනය ගෙන යන යද්දී සියළු රජු වටා සියළු සැප සම්පත් ආදිය එක්කම නව නගරය නිර්මාණය වුණා. ඔටුන්න හිමි කරිකාලන් කාංචි නුවර වාසය කලා. උතුරට ගොස් සටන් මෙහෙයවන කරිකාලන් සේනාව පිරිවරා ගෙන ගොස් පාණ්ඩිය රාජ්‍ය සමඟ යුද්ධ කර ජයගන්නවා. එම සටනේදි පල්ලව දේශයේ ඔහුගේ මිතුරෙක් වූ පාර්තිබන් ඔහුට සහය වෙනවා. එහිදී සටනින් පරාජය වූ වීර පාණ්ඩිය රජු යුධ බිමෙන් පලායනවා. කරිකාලන් පාණ්ඩිය රජු සොයා ගොසින් ඔහුගේ හිස ගසා දමනවා. ඇත්තටම කරිකාලන්ට වීර පාණ්ඩියන් මරා දැමීමට ඒ තරම් බලවත් පෙළඹීමක් තිබුණෙ නැහැ. ඒත් එම අවස්ථාවේ ඇති වුණ එක හේතුවක් නිසා දැඩි ලෙස තුවාල වී සිටි වීර පාණ්ඩිය රජුගේ හිස කඳෙන් වෙන් කර දමනවා.

මදුරාන්දගන් දැන් රජකම දැරීමට සුදුසු වයසට පැමිණ තිබුණා. ඒ වුණත් සුන්දර චෝලන්, කුන්දවෛ කුමරියගේ කීම අසා කරිකාලන් කුමරුන්ට ඔටුනු පලන්දනවා. මේ අතරෙදි තමයි අතුරුදහන් වුණ නන්දිනී ආපහු මතුවෙන්නේ. ඒ පෙරිය පලුවේට්ටරෛයර්ගේ බිසව විදිහට. පෙට්ටිය රටේ ප්‍රධාන පාලක වරයෙක් මෙන්ම රජයේ භාණ්ඩාගාරික/ මුදල් ඇමති තනතුරු දරන මොහු සුන්දර චෝලන්ගේ සමීප මිත්‍රයෙකු ද වනවා. පලුවේට්ටරෛයර් මහළු වියේදි තමයි නන්දිනීව විවාහ කරගන්නේ. නන්දිනී ඒ තරම් රූපශ්‍රීයෙන් පිරි ස්ත්‍රියක්. කරිකාලන් නන්දිනීව හමුවී පෙරිය පලුවේට්ටරෛයර් අතහැර ඔහු එක්ක විවාහ වෙන්න කියා ඉල්ලා සිටිනවා. එහිදි නන්දිනී “ඔබේ පියාත්, නැගෙණියත් මරා දමා පැමිණෙන්න” යැයි කියා තිබෙනවා. ඉන් පසුව යලිත් කිසිදාක ඇයගේ මුහුණට මුලිච්චි වෙන්නෙ නැති බව කියමින් එහි සිට පිටත් වෙනවා.

සුන්දර චෝලන්, චෝල රාජ්‍යයේ යටත් රාජ්‍ය පාලකවරුන්ගෙන් නොවිමසා කුන්දවෛ කුමරියගේ හා සෙම්බියන් දේවියගේ කීම අසා කරිකාලන්ට ඔටුනු පැලැන්දවීම ගැන පාලකවරුන් මහත් කෝපයකින් සිටියේ. ඒ නිසාවෙන් කරිකාලන් කුමරු සිහසුනෙන් නෙරපා දැමීමට ඔවුන් තීරණය කලා. මීට මූලිකත්වය ගත්තේ පලුවේට්ටරෛයර් සහෝදරවරුන්. ඊටත් පෙරිය පලුවේට්ටරෛයර්ව අවුස්සා රූකඩයක් මෙන් නටවා සැළසුම යෙදෙව්වේ නන්දිනී දේවියයි. නන්දිනීට හිමි රූපයෙන් පලුවේට්ටරෛයර්ව හසුරවමින් චෝල රාජ්‍ය වංශයම විනාශ කර දැමීමට කුමණ්ත්‍රණ කරනවා. නන්දිනී චෝල රාජ්‍යයේ සිටිමින් චෝල රාජ්‍යයට වින කරද්දී, පලුවේට්ටරෛයර්ට නොදැනෙ ලෙසින් පාණ්ඩිය හදිසි අවස්ථා උදවුකරුවන්ට උදවු කරමින් සිටියා. පාණ්ඩියවරුන්ට තමන්ගේ රජුව මරා දැමීම නිසාවෙන් චෝල රාජ වංශිකයන් සමඟ අප්‍රමාණ වෛරය තිබුණා. චෝල රාජ වංශිකයින් මරා දමා රාජ්‍ය පාලනය ලබාගැනීම පාණ්ඩියවරුන්ගෙ බලාපොරොත්තු වී තිබුණා. චෝල දේශයට, පාණ්ඩිය රාජ්‍යයෙන් පසුව වැඩි වශයෙන් තර්ජනයක් තිබුණේ රාශ්ට්‍රකූට රාජ්‍යයෙන්. රශ්ට්‍රකූටයේ ප්‍රහාර චෝල රාජ්‍යයට එල්ලවීම නිසා රාශ්ට්‍රකූටයට එරෙහිව යුධ වැදීමට කරිකාලන් කුමරු සේනාව පිරිවරා රාශ්ට්‍රකූට රාජ්‍යය බලා පිටත් වෙනවා. මේ යුද්ධයෙදි වල්ලම් දේශයේ කුමරු වන්දියදේවන්, ආදිත්‍යා කරිකාලන් කුමරුට වඩා හිතවත් මිත්‍රයෙක් වෙනවා.

මේ කාලයේදි කාංචි වල වෙසෙන කරිකාලන් එහි තම පියා සුන්දර චෝලන්ගෙ අවසාන කාලය ගත කිරීම වෙනුවෙන් ස්වර්ණමය මාලිගයක් තනා තිබුණා. මහජනයාගේ මුදල්වලින් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න රජතුමාට රත්තරන් මාලිගා හදනවා කියා කරිකාලන්ට චෝදනා පවා එල්ල වුණා. ඒ අතරෙදි තමයි කරිකාලන්ට චෝල රාජ්‍ය පලුවේට්ටරෛයර්ලාගේ අණසක ක්‍රියාත්මක වන බවට විවිධ ආරංචි දැනගන්න ලැබෙන්නෙ. කරිකාලන් පියාට කොපමණ හසුන්(ලියුම) යැව්වත් ඒවාට පිළිතුරු ලැබුණේ නැහැ. කරිකාලන් පියාට එක් හසුනකුත්, නැගෙණියට තවත් හසුනකුත් ලියා ඒවා වන්දියදේවන් අතේ යවනවා. කොතැනකදීවත් රණ්ඩු කිරීමට නොයන ලෙසටත් වන්දියදේවන්ට අවවද කරනවා. විශේෂයෙන්ම පලුවේට්ටරෛයර්ලා එක්ක ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියා කියනවා. වන්දියදේවන් හසුන අරගෙන යන ගමනෙන් ආරම්භ වන මේ කතාව ගලාගෙන යන්නෙ වන්දියදේවන් චරිතයත් එක්කමයි. කතාවේ ප්‍රධාන වීරයා වන්දියදේවන් කියලා හිතෙන තැනටම. වන්දියදේවන්ටත් බොහෝ කලක පටන්ම තංජාවූර් දැක බලාගන්න හිතේ ආසාවක් තිබුණා. ඒ වගේම සුන්දර චෝලන් රජු හා කුන්දවී කුමරියවත්. වන්දියදේවන් කරිකාලන් දුන්න හසුන් අරගෙන තංජයි නුවර බලා පිටත් වෙනවා.

චිත්‍රපටයෙන්…
නව කතාවේ සඳහන් සිද්දි චිත්‍රපටයෙදි තරමක් වෙනස් වෙනවා. කඩම්බූර් මාලිගයේ රහස් මණත්‍රණයක් පැවැත්වෙන බව දැනගන්නට කරිකාලන්, වන්දියදේවන්ව ඒ රහස් මන්ත්‍රණය මොකක්දැයි කියලා විමසා බලන්න කඩම්බූර් සම්බුවූරයර් මාලිගයට පිටත් කර හරිනවා. ඒ වගේම කඩම්බූර් මාලිගයේදී දැනාගත් දේ පියා සුන්දර චෝලන්ටත්, පලෛයාර් පරණ මාලිගයේ සිටින නැගෙණිය කුන්දවෛ හටත් කියන්නට අණ කරනවා. මේ ගමනේදි සොබාව විඳගනිමින්, මග දෙපස ලදුන්ව දැකගනිමින් ගමන් කලා. ඒ අතරමගදී සිදුවන ආඩි උත්සවය දැක ගැනීමටත් වන්දියදේවන්ට හැකි වෙනවා. ගමන අතර මගදී පුදුමාකාර නැවක් දකින වන්දියදේවන් නැව ගැන මහල්ලෙකුගෙන් අහනවා. මහල්ලා ඒ එන්නෙ පෙරිය පලුවේට්ටරෛයර්ගේ නැව කියමින් උත්තර දෙනවා. පෙරිය පලුවේට්ටරෛයර් යුධ සටන් වලදී තුවල 64ක් ලැබුවා කියා වන්දියදේවන් කුඩා කාලයේ සිටම ඔහුගේ පරාක්‍රමය ගැන කතා අසා තිබෙනවා. වන්දියදේවන්ට පලුවේට්ටරෛයර්ව දැකගන්න ආසාවක් ඇති වුණත් හිත තැන්පත් කරගෙන හසුන් බාර දීම වැදගත් යැයි සිතා රාජකාරිය බලා පිටත් වෙනවා. එහිදී ශිව බැතිමතෙක් හා විශ්ණු බැතිමතෙක් රණ්ඩු වෙමින් සිටිනවා වන්දියදේවන් දකිනවා. වන්දියදේවන් මැදිහත් වෙලා මේ රණ්ඩුව නතර කරනවා. රණ්ඩු කල ආල්වාර්කඩියන් නම් විශ්ණු බැතිමතා වන්දියදේවන් යමින් සිටින්නේ කඩම්බූර් මාලිගයට බව දැනගෙන තමන්වත් ඔහු සමඟ රැගෙන යන ලෙස ඉල්ලා සිටිනවා.

වන්දියදේවන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. නැවතත් ගමන ආරම්භ කරන වන්දියදේවන් කඩම්බූර් මාලිගයට සේන්දු වෙනවා. වාසල් දොරටුව මුර කාවල් සිටි සෙබළුන් වන්දියදේවන්ට ඇතුලට යන්න ඉඩ දෙන්නෙ නැහැ. එදින මාලිගයේ උත්සවයක් පැවැත්වෙමින් තිබුණා. මාලිගය තුලට පැමිණීමට අවසර ලැබුණේ ආරාධනා කල අය පමණයි. කොහොමින් හරි දොරටුව අසල කලබලයක් කර ඇතුලට යාමට උත්සාහ කරනවා. සෙබළුන් වන්දියදේවන්ව වට කර පහර දෙන්නට සුදානම් වුණ නිසා වන්දියදේවන් කඩම්බූර් මාලිගයේ සිටි ඔහුගේ මිතුරා කන්දමරන්ගේ නම කියා කෑ ගසනවා. කන්දමරන් වන්දියදේවන්ගේ කටහඬ හඳුනාගෙන වාසල් දොරටුව ලඟට පැමිණ වන්දියදේවන්ව බේරාගෙන මාලිගයට එක්කගෙන එනවා. මේ මාලිගයේදි කුරවි කූත්තු නම් නැටුමක් පැවැත් වෙනවා. මේක දේවරාලන්ගේ නැටුම කියලත් හඳුන්වනවා. මේ කුරවි කූත්තුවේදී, දේවරාලන් රජ පරපුරේ අයකුගේ ජීවිතය බිල්ලක් ඉල්ලමින් ගීතයක් ගායනා කරනවා.

අහසේ දිස් වෙලා තිබුණ වල්ගා තරුව චෝල රාජ්‍යයේ රාජ්‍ය වංශයේ උරුමක්කාරයෙකුගේ ජීවිතයට තර්ජනයක් බවට අනාවැකි පල කර තිබුණා. ඒ කිව්ව විදිහටම ඒ වල්ගා තරුව උරුමක්කාරයෙකුගේ ජීවිතයක් බිලිගෙන යනවා. බිලි වුණේ කවුද කියලා මේ චිත්‍රපටයෙන් නම් බලාගන්න පුළුවන් වෙන්නෙ නැහැ. දෙවෙනි භාගයෙන් බලාගන්න පුළුවන් වේවි කියලා වැඩි විශ්වාසයක් තියෙනවා.

මේ PS – 1 චිත්‍රපටයේ දෙවන කොටසේ (Second Half) දර්ශනවලින් වැඩි ප්‍රමාණයක් ලංකාවේදි සිදුවන අවස්ථාවන්. ලංකාවේ දර්ශන සියල්ලම රූගත කර තිබෙන්නේ තායිලන්තයේදී යි. මුලින් මුලින් කතාව තායිලන්තය පැත්තට යනවා කියලා හිතුවත් අන්තිමේ රජ මාලිගය ඇතුලෙ ශ්‍යාම් ප්‍රනාන්දු හිටිය නිසා දැනගත්තේ මේ තමයි ලංකාව කියලා. ලංකාවට අදාල කොටස් ලංකාවෙදීම රූගත කිරීමේ අදහසක් තිබුණාද කියලා දන්නෙ නැතත් රන් මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේදි පසුතල ඉදිකිරීම් කර තවත් අධියරක් රූගත කිරීමට යොදාගෙන තිබුණා. කොහොමින් හරි කොරෝනා ව්‍යාප්තිය වැඩි වීමත් එක්ක නිරෝධායනය නීති පැනවීම හේතුවෙන් නිරෝධායන නීති පැනවීම නිසා පොන්නියින් සෙල්වන් නිෂ්පාදන කණ්ඩායම ලංකාවේ රූගත කිරීම් අවලංගු කරනවා.

පොන්නියින් සෙල්වන් චිත්‍රපටය තැබූ වාර්තා දිහා බැලුවොතින් විශේෂම කාරණය වෙන්නෙ දෙමළ සිනමාවේ අවුරුදු 26කට පස්සෙ Non-Rajini වාර්ථාවක් බිහි කිරීමට මෙමගින් හැකියාවක් ලැබීමයි. මොකක්ද මේ Non-Rajini වාර්තා කියන්නෙ, කොහොමද මේක හැදුනෙ කියලා කිව්වොතින්… 90 දශකය රජිණි දෙමළ සිනමා කර්මාන්තයේ සිහසුනේ වාඩිගෙන හිටිය කාලයක්. රජිණිගේ චිත්‍රපටවලින් දිගින් දිගටම බොක්ස් ඔෆිස් වාර්ථා පිහිටුවමින්, ඒ වාර්ථා තවත් රජිණිගේ චිත්‍රපටයක්ම බිඳ දමන කාලයක්. ඇත්තම කිව්වොත් මේ කාලයේ රජිණිගේ වාර්ථාවක් කඩන්න නළුවෙක් හිටියේම නැති ගාණයි. මේ නිසාම “වසූල් මන්නන්” (Collection King) කියන අනුවර්ථ නාමයත් රජිණිට පටබැඳෙනවා. ඉතින් අවුරුදු 26ක් පුරාම දිගින් දිගටම රජිණිගේ චිත්‍රපටයක ආදායම් වාර්ථාවක් බිද දැමුවේ තවත් රජිණිගේ චිත්‍රපටයක්. කොහොම හරි මේ අවුරුද්දේ මනි රත්නම්ගේ පොන්නියින් සෙල්වන් රජිණි බිහි කරපු වාර්ථා කිහිපයක්ම බිද දමා වාර්තා නැවත අලුත් කර තිබෙනවා. ඉතින් රජිණි නම් නිතරම කියන්නෙ වාර්තා තියෙන්නෙ කඩන්න කියලයි.

පොන්නියින් සෙල්වන් අලුත් කල සියලුම වාර්ථා අතරට…(සියළුම ආදායම්, දළ ආදායම් වශයෙන්.)
• අවුරුදු 25කට පස්සෙ රජිණිගේ නොවන චිත්‍රපටයක් ඇමරිකාවේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය විදිහට වාර්තා අතරට එක් වෙනවා. ලැයිස්තුවේ ඉහලම 3 අතරට ඉස් ඉස්සෙල්ලාම ආව Non-Rajini චිත්‍රපටය වෙන්නෙත් මේ පොන්නියින් සෙල්වන්. ඇමරිකාව තුල PS 1 $ 5,545,000ක් හා 2.0 (2018) $ 5,509,317ක් ලෙසින් ආදායම් වාර්තා කර තිබෙනවා.


• මේ චිත්‍රපටය නිකුත් වූ පලමු දවසේ ගෝලීය වශයෙන් ආදායම ඉ.රු. කෝටි 80ක් හිමි කරගන්නවා. එය සටහන් වන්නේ දෙමළ සිනමාවේ පලමු දිනයේදී ඉහලම ආදායම් ලබාගත් චිත්‍රපට අතරින් තෙවැනි චිත්‍රපටය ලෙසටයි. එයත් 2.0, කබාලි පසුව එක් වන Non-Rajini වාර්ථාවක්.


• දෙමළ සිනමාවේ ඉ.රු. කෝටි 400 පසු කල 5 වැනි චිත්‍රපටය ලෙස මෙය ලයිස්තුගත වෙනවා.


• තමිල්නාඩුව ඇතුලත ආදායම් වාර්ථා අතරින් ප්‍රථම ස්ථානය හිමි කරගන්න මේ පොන්නියින් සෙල්වන් චිත්‍රපටයට හැකි වෙනවා.


• මෙම වසරේ දෙමළ සිනමාවේ Industry Hits අතරට එක් වන දෙවනි චිත්‍රපටය විදිහට පොන්නියින් සෙල්වන් එකතු වෙනවා. Vikram (2022) මේ වසරේ Industry Hits ලයිස්තුවට එක්වන පලමු චිත්‍රපටයයි.


• මුළු විදේශීය ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 15 පසුකල චිත්‍රපටයක් ලෙස එම ලැයිස්තුවේ 5 වෙනි ස්ථානය හිමි කරගන්නවා.

නිකුත් වූ සතිය ඇතුලත මෙහි බොක්ස් ඔෆිස් ආදායම් තත්වය වේගවත් වුණත් පහුවෙද්දි එන්න එන්නම මන්දගාමී වුණා. ලයිකා විසින්ම නිෂ්පාදනය කල 2.0 චිත්‍රපටය ඉන්දීය ප්‍රේක්ෂකයින් වෙනසක් දකින්නේ නැතිව ඉන්දියානු චිත්‍රපටයක් විදිහට වැළද ගත්තා කිව්වොත් නිවැරදියි. දින හතරක් තුලදී 2.0 චිත්‍රපටය ඉ.රු. කෝටි 400 පසු කලා. දමිළ සිනමා කර්මාන්තයේ ආදායම් ලබාගැනීම අතින් වඩා වේගවත් වූයේ 2.0 චිත්‍රපටයයි. විශේෂයෙන්ම 2.0 චිත්‍රපටයට උතුරු ඉන්දියාවේ මහත් ආකර්ෂණයක් හිමිවුණා. ඒත් මේ චිත්‍රපටයෙන් චෝලයන්ගේ අභිමානය, ඉතිහාසය ගැන කියවෙන කතාවක් නිසා අනෙත් ප්‍රාන්ත වල ප්‍රේක්ෂකයින් මේ චිත්‍රපටය නැරඹීම ප්‍රතික්ෂේප කලා. තමිල්නාඩුව හැරුණම මේ චිත්‍රපටයට වෙනත් ප්‍රාන්ත වලින් සැලකිය යුතු තරමේ ආකර්ෂණයක් ලැබුණේ නැහැ. ඇත්තටම වෙනත් ප්‍රාන්තවල චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු කිරීමේදී නිෂ්පාදන කණ්ඩායම අපහසුතාවයකට පත්වුණා. බාහුබලී චිත්‍රපටය එක්ක සන්සන්දනය කරලා බලාපොරොත්තු තෘප්තිමත් වුණේ නැහැ කියලා සමහර ප්‍රේක්ෂකයින් විවේචනය කලා. ඇත්තටම පොන්නියින් සෙල්වන් යථාර්ථය, ප්‍රබන්ධය මිශ්‍ර කාව්‍යමය නිර්මාණයක්. බාහුබලී මුළුමනින්ම වාණිජමය, ප්‍රබන්ධ චිත්‍රපටයක් විදිහටයි නිර්මාණය කර තිබෙන්නෙ. පොන්නියින් සෙල්වන් හා ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවල ඇති සමානකම නිසා එක් වැඩසටහනකදී මනි රත්නම්ගෙන් අහනවා මේක දෙමළ ගේම් ඔෆ් ත්‍රෝන්ස්ද කියලා. මනි රත්නම්ගේ පිළිතුර වුණේ “නැහැ. සමහරවිට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉංග්‍රීසි පොන්නියින් සෙල්වන් වෙන්න ඇති” කියලයි.

ඒ. ආර්. රහුමාන්ගේ ගීත සහ පසුබිම් සංගීතය මේ චිත්‍රපටයේ අගය තව තවත් වැඩි කරනවා. මෙහි සංගීතය වෙනුවෙන් ප්‍රේක්ෂක, විචාරක කාගේත්ම ප්‍රසංසාව රහුමාන්ට ලැබුණා. බොහෝ විට රඟපෑ නළුවන්ට වඩා රහුමාන්ට ප්‍රසංසා හිමි වෙන්නට ඇති. මනියා මේ ව්‍යාපෘතිය ආරම්භයේ පටන්ම රහුමාන්ව සංගීතය වෙනුවෙන් තෝරාගෙන තිබුණා. රහුමාන් ඇරෙන්න කාටවත් මේ තරම් හොඳ නිමවක් දෙන්න බැහැ කියලා රහුමාන් තහවුරු කරලා හමාරයි. “පොන්නි නදි” ගීතය ගායනා කරන්නේ රහුමාන් විසින්මයි. ශ්‍රෙයා ගෝෂාල් “රාට්චස මාමනේ” ගීතය ගායනා කරනවා.

පොන්නියින් සෙල්වන් චිත්‍රපටයක් විදිහට නිකුත් වෙන්න කලින්, කතා පොතෙන් විවිධ කොටස් උපුටාගත් අවස්ථා චිත්‍රපට කිහිපයකම දකින්න පුළුවන්. විශේෂයෙන්ම රාජමෞලිගේ බාහුබලී චිත්‍රපටිවල සහ RRR චිත්‍රපටවල පොන්නියින් සෙල්වන් කතාවේ සිද්දින් බහුලවඋපුටා ගෙන තිබුණා. RRR (2022) චිත්‍රපටයේ භීම් විසින් රාම්ව කරේ තියාගෙන ඉද්දි රාම්ගේ අත් දෙකේ තියෙන තුවක්කු දෙකකින් වෙඩි තබන දර්ශනය විජයාලය චෝල රජුව සෙබළුන් කරේ තබාගෙන යද්දි, ඔහු දෑතින් කඩු ගෙන පහර දෙන සිද්දියට සමානයි. බාහුබලී චිත්‍රපටයේ ශිවගාමි දේවිය බාහුබලී කුමාරයාව වතුරෙන් ඉහලට ඔසවාගෙන සිටීම මෙහි මන්දාකිනි දේවිය අරුන්මොළි කුමරුව කාවෙරි ගඟෙන් ඉහලට ඔසවා සිටීමට සමානයි. මේ විදිහට බාහුබලී චිත්‍රපට දෙකේම පොන්නියින් සෙල්වන් නව කතාවෙන් උපුටා ගත් ගොඩක් තැන් දකින්න පුළුවන්. මේ මෑතකදී රාජමෞලි අවුරුදු 11 කලින් පොන්නියින් සෙල්වන් පොත සම්බන්ධව කරපු ට්විට්ටර් කමන්ට් එකක් සමාජ මාධ්‍යවල Viral වෙනවා.

මනිරත්නම්ගෙ මීට කලින් චිත්‍රපටය Chekka Sivantha Vaanam (2019) චිත්‍රපටයේ කතාව මීට සමානයි. ඒ වුණත් චෙක්ක සිවන්ද වානම් චිත්‍රපටයට පාදක වෙන්නේ මූගල් අධිරාජ්‍යයෙක් වූ ඕරංසෙබ්ගේ ඔටුන්න සඳහා ඇති වූ සටනයි. Padayappa (1999) චිත්‍රපටයේ නීලාම්බරී චරිතයට මෙහි නන්න්දිනියගේ චරිතයේ ආභාෂය ලබා ගත් බව පඩයප්පා චිත්‍රපටයේ කතාව ලියූ රජිණි විසින්ම පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ ගීත එලිදැක්මේදී සඳහන් කලා. Ayirathil Oruvan (2010) චිත්‍රපටය නිර්මාණයේදී පොන්නියින් සෙල්වන් නව කතාව ආභාෂය ගත් බව එහි අධ්‍යක්ෂක සෙල්වරාඝවන් විසින්ම කියනවා. කොටින්ම කිව්වොත් වන්දියදේවන් චරිතය කාර්තිට අලුත් දෙයක් නෙවෙයි. මොකද ආයිරර්තිල් ඔරුවන් චිත්‍රපටයේ ගෙඩිය පිටින්ම වන්දියදේවන් චරිතය මුතු විදිහට උපුටාගෙන තිබුණා. Vada Chennai (2018) චිත්‍රපටයේ චන්ද්‍රා නම් චරිතයට නන්දීනියගේ ආභාෂය ගත් බවත් සඳහන් වෙනවා. චන්ද්‍රා ආදරය කල රාජන්ව මරලා දාපු නිසා ඒ කල්ලියටම ගිහින් රාජන්ව මරලා දැම්ම ගුණාව කසාද බැඳගෙන ජීවත් වෙනවා වගේ රඟපාමින් ගුණාගෙන් පලිය ගන්නවා. තවත් මනිරත්නම්ගෙ චිත්‍රපටි කිහිපයකම පොන්නියින් සෙල්වන් කතාවෙන් කල උපුටා ගැනීම් කිහිපයක් දකින්න පුළුවන්.

කමල්හසන් දෙමළ බසින්, අනිල් කපූර් හින්දි බසින්, රානා ඩගුබාටි, තෙළිඟු බසින්, ප්‍රීත්විරාජ් මලයාලම් බසින්, ජයන්ත් කයිකිනි යන අය ඒ ඒ භාෂාවලින් අතීත සිදුවීම් ගැන පැහැදිලි කිරීමක් චිත්‍රපටයේ කථනයෙන් ඉදිරිපත් කරනවා.

කාර්තිගේ සිනමා දිවියේ මේ වනතෙක් කිසිම අධ්‍යක්ෂක වරයෙක් කාර්තිව යොදාගෙන දෙවන චිත්‍රපටයක් කරලා නැහැ. මනි රත්නම් තමයි පලවෙනි කාර්තිව දෙවන වතාවටත් අධ්‍යක්ෂණය කරන පලමු අධ්‍යක්ෂක වරයා වෙන්නේ. ලබන අවුරුද්දේ කෛදි 2 රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි. ආල්වාර්කඩියන් නම්බිගේ චරිතය ඉදිරිපත් කරන නළු ජයරාම්ගේ සැබෑ උස අඩි 6ක්. නම්බිගේ උස අඩි 5ක්. වන්දියදේවන් නම්බි දෙන්නා එකට හිට ගත්තොතින් එක සමාන උසක්. ඒ නිසාවෙන්ම ඔහු රිටක් ගෙන, නැමී චිත්‍රපටිය පුරාවටම ආල්වාර්කඩියන්ගේ චරිතය ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ චෝලයන්ගේ චරිත වල පැහැය පැහැපත් වර්ණයක් ගැනීම සමාජ මාධ්‍යවල කතා බහට ගැනුන දෙයක්. ඒත් හැබෑවටම දමිළයන්ගේ ස්වාභාවික පැහැය තමයි කළු වර්ණය. මේ ව්‍යාපෘතියේ චරිතවල මවාගත් කටුසටහන් (Imaginary Sketc) එක්ක බලද්දි චිත්‍රපටයේ චරිත ෆෙයාර් & ලව්ලි ගාලා පැහැපත් වෙලා කියලා හිතෙන්න පුළුවන්. චිත්‍රපටයේ නිර්මාණාත්මක භාවය හෝ ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණෙන් මනියා ඒ විදිහට කරන්න ඇති.

ඇත්තටම කිව්වොතින් චිත්‍රපටිය බලද්දි දැනුනෙ නැති රස වින්දනයක් යූටියුබ්වල දලා තිබුණ කතා අහන්න ලැබුණා. පොන්නියින් සෙල්වන් පාඨකයින්ගේ අදහස වුණේත් නවකතාවක් සිනමාවට නගද්දි පොතේ තියෙන දේ ඒ විදිහටම චිත්‍රපටයෙන් දෙන්න බැහැ කියන කාරණයයි. කතාවේ නම් චිත්‍රපටයේ වගේ කිසිම සිංහල රජ කෙනෙකුව මුණ ගැසෙන්න යන අවස්ථාවක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. මනියා මේ දර්ශන කොටස් චිත්‍රපටියට ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් එක් කරන්නට ඇති. මේ කොටස් ටික අයින් කලා නම් ශ්‍යාම් ප්‍රනාන්දුට රඟපාන්න චරිතයක් ඉතිරි වෙන්නෙ නැහැ.

ඉතින් අන්තර්ජාලයෙන් එහෙන් මෙහෙන් මම දැනගත්ත තොරතුරු තමයි මේ විදිහට සාරංශ කරලා තියෙන්නෙ. ලියනව නම් ඒ තරමට තොරතුරු තියෙනවා. ඒත් යන්නම් වාලේ ලියන ලිපියක් වෙන්න නොදී අත්‍යාවශ්‍යම කාරණා විතරක් ඔයාලගෙ පහසුවට ලිපියේ ඇතුලත් කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයට කලින් උපසිරැසිය කරන්න බාරගෙන තිබුණේ සිසිල අයියා. කොහොම හරි මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරන්න එයා මේ අවස්ථාව මට දෙනවා. සිසිල ප්‍රසාද් අයියාට මගේ ස්තූතිය පුද කරනවා. වෙන ඉතින් කියන්න දෙයක් නැහැ. ආයෙමත් පුළුවන් ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු. අදහස් දක්වමින් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ස්තූතියි!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Tamil HQ HD පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E08] Sinhala Subtitles | සමුගැනීමේ ප්‍රෝඩාව [සිංහල උපසිරැසි]

එහෙනම් මේ අරන් එන්නේ පුරා සතියක් පුරා අපි එක්ක එකතු වෙලා හිටිය බ්‍රීත් ඉන්ටු ද …

Leave a Reply

Your email address will not be published.

101 comments

  1. මිලින්ද

    අඩෝ… විස්තරේ මරු ආ…. ඔක්කොම කියෙව්ව පට්ට

  2. Aravinda Fernando

    අඩේ ඒ විස්තර. සුපිරිම ලිපියක්. ආස්සවෙන් කියෙව්වා. පින් මචං

  3. Thank You for the excellent work!

  4. rctt

  5. Brahmastra sub plz baiscope

  6. සබත් එක්ක ෆිල්ම් එක බැලුවේ,
    ඒ කාලෙට ගැලපෙන විධියට සුපිරියටම තිබ්බ.
    ලිපිය ගැන නම් කියන්න දෙයක් නැහැ ආ..
    සයිට් එකේ දිගම ලිපිය. 🙂

  7. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  8. torrent eka ganne kohomada

    • Baiscopedownloads එකෙන් ටොරෙන්ට් එක ගන්නත් පුළුවන්, ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

  9. Bk.susil indrajith

    අම්මෝ ලොකු විස්තරයක් ස්තුතියි සහොදරයා තවත් ඉදිරියට මෙවැනිම විස්තරත් එක්ක හොද උපසිරසියකින් ඉක්මනින් එන්න සුබ පැතුම් .සුපිරි වැඩ්⁣ෙඩක් සතුටුයි ගොඩක් සහොදරයා

  10. සබ් එක නම් සුපිරියටම කරලා තිබ්බා..ඊට එහා මේ විස්තරේ…ගොඩක් ස්තූතියි මහන්සි වෙලා කොලිටි වැඩක් අරන් එනවට හැමදාමත්…ජයවේවා…..!

  11. අකුරු 3 සයිට් එකක 250 වෙනි සබ් එකක් පලකරලා තිබුනා , පුදුමේ කියන්නේ ෆිල්ම් එකේ කතාව ගැන කිසිම විස්තරයක් දාලා තිබුනේ නැහැ…
    ඒකට මචන් උබ සබ් එකත් ලෙසටම දීලා ඊට වඩා මහන්සිවෙලා ලිපිය හදන්න, ඒ කොලිටිය තියෙන්නේ බයිස්කෝප් එකේ විතරමයි,පට්ටම තැන්ක්ස් බයිස්කෝප් උපසිරසිකරුවන් සියල්ලටම ඒ කොලිටිය පවත්වාගෙන යනවට

  12. ප්ට්ටනේ
    මාර එකක් ආආආආආ

  13. Prince
    Sardar දෙකත් මග එන ගමන්

  14. මාරම කැපවීමක්.. වටිනා දීර්ඝ විස්තරයක්.. බොහොම ස්තුතියි… බයිස්කෝප් සබ් විතරමයි ගන්නේ…

  15. එල කොල්ලෙනෙ
    ජය වේවා

  16. One of the best history,action,drama type movies..also superb subtitles..keep going..

    • Aravinda Fernando

      බොහෝම ස්තූතියි මේ තරමින් කැපවීම සම්බන්දයෙන්

  17. Thanks brother

  18. ස්තුතියි සහෝ

  19. Thanks…

    • අවුරුද්දකට වගේ කලින් බයිස්කෝප් සිංහල සබත් එක්ක ෆිල්ම් සීරීස් බලන්න පුරුදුවෙලා හිටියත් මෑත කාලීනව ඉංග්‍රීසි සබ් එකට පුරුදුවෙලා සයිට් එකෙන් සබ් ගත්තෙම නෑ.නමුත් මේක ඉතිහාස පොත්වල අපි ඉගනගත්ත සොලීන්ගෙ නම් ගම් එහෙම තියන ගොඩක් සමීපයි වගෙ දැනෙන ඉතිහාස කතාවක් නිසා සිංහල සබ් එක දාගෙන බලන්න හිතුවා කඩ්ඩ වෙනුවට.ඒ අදහසට පාඩුවක් නම් උනේ නෑ නවීන් සහෝ තැනට සුදුසු වචන යොදාගෙන තිතට සබ් එක කරල තිබ්බා.ඒ වගේම කතාව බලන්න කලින් පසුබිම් විස්තර දැනගන්න මේ අගනා ලිපියත් ගොඩක් උදව් උනා.ඒ දේවල් නොදැන ෆිලුම බැලුවනම් කතාව එච්චර සමීප වෙන එකක් නෑ.(අර දඹුල්ලෙ පැත්තෙ වන්දියදේවන් යද්දි සිංහල වෙලෙන්දියක් කෑ ගහන්නෙ “දසමහ යෝධයොත් බුදිපු හාල්” කියල නේද??)ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක් දුරට තාත්ත්වික හොඳ නිර්මාණයක් කියන්න පුලුවන්.පෞද්ගලිකව මම අකමැති උන KGF,RRR වගේ ෆිල්ම්වල ඇතුලත් වෙලා තිබ්බ අතාත්ත්වික සටන්,ටොන් ගණන් තාක්ෂණික ප්‍රයෝග මේකෙ තිබ්බෙ නෑ.ඒ නිසා කට්ටිය හෙන හයිප් එකේ හිටපු ඒ ෆිල්ම් වලට වඩා මේක ඉතා හොඳ නිර්මාණයක් මට අනුව නම්.ෆිල්ම් එක බාන කට්ටිය කැමතිනම් PSA සයිට් එකේ තියන රිප් එක බාගන්න.ඉතා හොඳ තත්ත්වයෙ පිටපතක්.අවසන් වශයෙන් රවිඳු සහෝට කියන්නෙ සබ් එකටයි ලිපියටයි බොහොම ස්තූතියි.සිංහල සබ් ගන්න අය වෙනුවෙන් මේ වැඩේ දිගටම කරන්න.ජයවේවා!!

      • අවංකවම මම ඒ තැන කීප සැරයක් ඇහුවා. තේරුණේම නැහැ. ඔයාට ගොඩක් ස්තූතියි තේරුම් කරලා දුන්නට.

    • Tnx sub ekata

  20. tnx sub ekta mechchara diga lipiyak dunna ekata thankyou eka dakka gaman film eka ganan hituna again tnx macho

  21. Vishwa sasanka

    Thank you

  22. Thanks for sub

  23. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  24. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  25. තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ෆිල්ම්එක ගැන දල අදහසක් ගන්න දීලා තියෙන ලිපිය වටිනවා මචං.. ඒ මහන්සියටත් බොහෝම ස්තූතියි මචෝ…
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  26. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  27. එලකිරි සුපිරිකිරි

  28. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  29. ඉතා වැදගත් ලිපියක්, Film එක බලන්න ඉස්සෙල්ලා දළ අවබෝධයක් ගන්න ගොඩාක් වටිනව.
    උපසිරසට හා මෙහි තැබූ දීර්ඝ හැදින්විමට ගොඩාක් ස්තුතියි !!!!

  30. අපේ රජකතා හදපු උන්ට,රගපාපු උන්ට කනට දෙකක් දීලා මේක පෙන්නන්න ඕන …….හික් හික් හික්

  31. mama winavi walin subtitle add karahama english subtitle ne yanne ekata mokadha karanna one ???

    • ඔයා ගත්ත ෆිල්ම් එකේ වීඩියෝ ෆයිල් එකේ නමින්ම සබ් එකත් Rename කරන්න. ඕනෙ නම් සබ් එකත් රිනේම් කරලා වීඩියෝ එකයි සබ් එකයි දෙකම වෙනම ෆෝල්ඩරයකට දාලා ඕපන් කරන්න. වැඩ කරාවි.

    • සබ් එකට විතරක් නෙවේ විස්තරයටත් බොහොම ස්තූතියි මචං .මෙච්චර විස්තර හොයන එකයි ටයිප් කරන එකම ලොකු දෙයක්.
      සබ් එකට ස්තුතියි මචෝ.එකෙන්ම.
      සුබ පතනවා මචෝ උබටත් baiscopelk ඒකටත්..

  32. Ochchara diga lipi ona na bn
    Filuma baluwa,raswinda,echcharai
    Ube mahansiya aparade ekai,supiri cast ekak inna nisa meka nobala inne na kawruwath

    • මේක ලිපියක් විතරක් නෙවෙයි සහෝ. චිත්‍රපටිය බලද්දි නොතේරෙන තැන් තියෙන්න පුළුවන්. නැත්නම් ඒ වගේ තැන් ගණන් ගන්නෙ නැතිවම බලන්න පුළුවන්. චිත්‍රපටිය බලන්න කලින් මේක බැලුවා නම් අනිවාර්යයෙන්ම චිත්‍රපටිය බලද්දි මතක් වෙයි “ආ මේ සීන් එකට හේතු වුණේ මේක. අරූ කිව්වා තමයි.” කියලා. ලිපියෙ කිව්වා වගේ පොත් පහක් දෙකට බෙදලා ෆිල්ම් එකක් හදපු නිසා ගොඩක් දේවල් මිස් වෙනවා. මහන්සි වුණා තමයි. ඒත් ආසාවෙන් කලේ. ස්තූතියි ඔයාගේ කමෙන්ට් එකට. 😉 😉

    • අනේ බං ලිපිය කියවන්න බැරි නම් කියවන එකෙක් කියවයි, උඹ පහලට Scroll කරලා සබ Download කර ගනින්. ලිපියක වැදගත් කම දන්නෙ නැතුව බලන්නන් වාලේ Film බලන එකා

      • Uba trigger nowi hitpn mn kiwwe naveen ta
        Ubla wage comment nokara sub ussan yna un mehema comment ekak dkalawath comment krna eka loku deyak eka atakin
        Pennapn blnna ube namin wena comment krpu ekak?

  33. thanks bn

  34. නල්ලා

    බොහොම ස්තුතියි ගුනාත්මක සබ් දෙනවට සහෝ
    අර ගුනෙරු එකේ දෙකයි පනහේ සබ් වගේ නැතුව

  35. SL Cricket ඉත්තෑවා

    මැච් එක පැරදිච්ච දුක තුනීවෙන්න මේකවත් බලමුකෝ අයිෂ්චර්‍යා අක්කත් ඉන්න්වනෙ
    සබට තැන්ක්ස් ලොක්කා

  36. තෑම්ක්ස් බොම්ක❤️

  37. Great work bro.thnx for the sub…❤️

  38. thanks mcho දිගටම sub කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා…

  39. මිනුල

    ඉතිහාස කතා බලනවනම් මෙන්න ෆිල්ම්
    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  40. good job machan superb karthikya 2 ekatath puluwanm sub eka denwada

  41. thanks……….

  42. Idunil Weerasinghe

    Thanks brother

  43. පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ්හ් පිං

  44. පට්ට නවීන්, මහන්සියට තෑන්ක්ස් ඈ!!
    බයිස්කෝප් ගැම්මක් තමයි ඉතින්

  45. thanks bro

  46. Pothak kiyevva vage, niyama discription ekak

  47. මේ ෆිල්ම් එකට ඔයාගෙන් සබ් එක ඉල්ලන්න කියලයි හිතන් හිටියේ. බැලින්නම් දීලා. සෑහෙන්න මහන්සියක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලිපියට. සබ් එක ගැන කියන්න දෙයක් නෑ. තෑන්ක්ස්!

  48. නදීක ගුරුගේ

    ෂ්තුතියි ෂහෝදරයා

  49. Thanks buddy

  50. උපසිරසියට තුති

  51. ස්තුතියි !

  52. lipiya maru bn

  53. ammoo… mechchara wistharayak.. pissu hedenawa.. niyamai malli.. thanks

  54. තුසිත

    සබ් එකටය් දැනුවත් කිරීමට ය්…බොහෝම ස්තුති සහෝදරයා

  55. Thanks brother

  56. Filuma apu gaman sub ekath dipu ekata nam thanks lokka..

  57. me wage supiriyak baiscope sub ekakin nathuwa balanawain kynnema film eke rasayen bagayak iwarai kyna eka

  58. Ravindu_Heshan

    ෆිල්ම් එකක සබ් එකක් කරනවා කියන එක(Google Translate නැතුව) හෝටලයකින් කෑම පාර්සලයක් ඉල්ල්නවා වගේ එකපාරටම දෙන්න අමාරුයි. ඒකට කන කට්ට දන්නේ සබ් කරන අයම විතරයි. ඉතිං මල්ලි ඔයා සබ් එකත්, ලිපියත් හොදටම කරලා තියෙනවා. අද ඔයා හිංදා ගොඩාක් අය මේ ෆිල්ම් එක බලනවා. ඉතිං ඔයාගෙ වටිනා කාලය ශ්‍රමය වැය කරගෙන මේ සබ් එක අපිට දුන්නාට ඔයාට ගොඩාක් ස්තූතී මල්ලි❤️❤️❤️❤️❤️❤️

  59. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  60. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
    ලිපියනම් පට්ටයි වගේම හරිම වටිනවා
    ජය වේවා !

  61. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  62. චිත්‍ර පටිය හදන්න මහන්සි වුනා වගේ මහන්සි වෙලා තියෙනවා ලිපියට. Thanks Brother ❤️❤️❤️❤️❤️❤️❤️

  63. Sub akta thanks

  64. සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් මේ වගේම සුපිරිම මූවියකින් හමු වෙමු
    ජය…

  65. සබට තුති සහෝ
    ඒවගේම අගනා ලිපියක්
    ජය වේවා

  66. Sudarshana Pradeep

    උපසිරසි දෙනවට අමතරව මේ තරම් හොඳ ලිපියක් දුන්නු එකට ගොඩක් ස්තුතියි
    ඇත්තටම ගොඩාක් දේවල් ඉගනගත්තා ඔයාගේ ලිපිය කියවල
    බොහොම ස්තුතියි

  67. මචෝ මේ ඔරිජිනල් කොපියමද ??
    නොවැම්බර් වලනේ ඩිජිටල් රිලීස් වෙන්න තිබ්බේ?
    පොඩ්ඩක් කියනවද මොකද මේක බලන්න ඕන 1080 p වගේ කොපියකින් , ඒ නිසා ඩවුන්ලෝඩ් කරන්න කලින් කියපන් මචෝ
    සබ් එකට නම් පට්ටම තැන්ක්ස් මචෝ

  68. වටින කරුණු ටිකක්
    පැහැදිලියි විස්තරාත්මකයි
    සබට තුති ලොක්කා ♥️

  69. Nipun Deewantha

    Thank You
    ඉක්මනින් sub එක දුන්නට ස්තුතියි .

  70. Thank you for the sub & details ❤️

  71. ගොඩක්ම ස්තූතියි …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • අම්මෝ තෑන්ක්ස් මචෝ.
      දෙනකම් හිටියේ.
      කලින්ම දුන්නු එක වටිනව එඩිට් කරලා දාන අයටත් ලේසිනේ

  72. Thank you.

    • සුභාෂිණී මල්ලව ආරච්චි

      වටිනා ලිපියට වගේම උපසිරසියට ගොඩක් ස්තූතියි මල්ලි ❤️❤️

error: Alert: Content is protected !!