You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / All / Mughal-E-Azam (1960) with Sinhala Subtitles | මූඝල් අධිරාජ්‍යය [සිංහල උපසිරැසි සමඟ]

Mughal-E-Azam (1960) with Sinhala Subtitles | මූඝල් අධිරාජ්‍යය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

Mughal-e-Azam (1960)

ශ්‍රී ලංකාවේ සාලිය – අසෝකමාලා නොහොත් දීඝ ගාමිණී – උන්මාද චිත්‍රා නොහොත් දස්කොන් – ප්‍රමිලා ඓතිහාසික පෙම් පුවත හා සමානව භාරතීය ඉතිහාසයේ කියැවෙන ඓතිහාසික පෙම් කතාවක් වෙයි. එය නම්, මහා අක්බර් නම් මූඝල් (මෝගල්) අධිරාජයාගේ පුත්‍ර සලීම් හෙවත් ජහාංජීර්කුමාරයා හා පෙමින් බැඳුණු අනාර්කලී නම් වහල් තරුණිය පිළිබඳ කතාවයි.

අද මා ඔබ වෙත ගෙන එන මූඝල් ඊ ඈසෑම් (1960) හින්දි සලරුව යට කී සලීම් – අනාර්කලී පෙම් පුවත ඇසුරින් නිර්මාණය වූවකි. මූඝල් අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ටතමයන් තිදෙනාගෙන් කෙනකු ලෙසින් සැලකෙන මහා අක්බර්ගේ රජ සමය (1556 – 1605) මෙම කථාන්ථරයට පසුබිම් වේ. ඉතිහාස කතාවක් වීම හේතුවෙන් මෙම චිත්‍රපටයේ චරිත වශයෙන් අපට හමුවන බොහෝ දෙනා සැබැවින් ම භාරතීය ඉතිහාසයේදි ද හමු වෙති. එසේ ම, ඔවුන්ගේ කුලගොත්, පරම්පරා පිළිබඳවත් පූර්ව යුගවල සිදුවීම් පිළිබඳවත් චිත්‍රපටය තුළ කතා බහට ලක් වේ. එබැවින්, නරඹන්නන්ගේ පහසුව උදෙසා, චිත්‍රපටය පහසුවෙන් රස විඳීමට දැන සිටීම ප්‍රමාණවත් යැයි හැඟෙන ප්‍රමාණයට, මූඝල් අධිරාජ්‍යයපිළිබඳව සරල විස්තරයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.

පර්ඝානා නම් කුඩා රාජ්‍යයක පාලකයා වූ බාබර් (ෂහීර්-උද්-දීන් මොහම්මද්) නම් මහමදික පාලකයා මූඝල් අධිරාජ්‍යයේ ආරම්භකයා ලෙස සැලකෙන අතර ඔහු පිය පාර්ශ්වයෙන් තුර්කියේ ටිමූර්ගේ පරම්පරාවෙන් ද මවු පාර්ශ්වයෙන් මොංගෝලියානු චෙංගේස් ඛාන්ගේ පරම්පරාවෙන් ද පැවත එන්නෙකි. ඒ අනුව ටිමූර් යනු මෝගල්වරුන්ගේ රාජ වංශයයි. තමන් ටිමූර් රජ වංශයේ කුමාරයා ලෙස පිළිගන්නා ලෙස දන්වා සලීම් කුමරු මහා අක්බර් අධිරාජයාට හසුනක් යවන සිදුවීමක් මෙම චිත්‍රපටයට ඇතුළු වන්නේ ඒ අනුව ය. මහා අක්බර් යනු බාබර්ගේ මුණුපුරෙකි. වඩාත් පැහැදිලිව පවසතොත් බාබර්ගේ පුත්‍ර වූ හුමායන්ගේ පුත්‍රයෙකි.

චිත්‍රපටය ආරම්භ වන්නේ අක්බර් අධිරාජයා දරුවකු ඉල්ලා දෙවියන් යදින දර්ශනයකිනි. තම පළමු දරුවන් දෙදෙනා ම මියයාමෙන් පසුව කනස්සල්ලට පත්ව සිටි අධිරාජයා දරුවකු ඉල්ලා ෂයික් සලීම්නම් සාන්තුවරයකු වෙත ගොස් දෙවියන් යැදි බවත්, ඉන්පසුව ජෝදා දේවියට ලැබුණු දරුවා සාන්තුවරයාට ගෞරව පිණිස ඔහුගේ නමින්” “සලීම් යනුවෙන් නම් කරන ලද බවත් ඉතිහාසයේ කියැවේ.

මූඝල් ඊ ඇසෑම් චිත්‍රපටයේදී අක්බර්ගේ චරිතය නිරූපනය වී ඇත්තේ සාධාරණ ගති පැවතුම් ඇත්තකු සේ ම තම රාජ්‍යයට හා වැසියනට ආදරය කරන යුක්ති ගරුක පාලකයකු වශයෙනි. සැබැවින් ම, ඔහුගේ පූර්වගාමීන් හා සැසඳීමේදී මෙන් ම පසුගාමීන් වූ තම පුත්‍ර සලීම් හෙවත් ජහාංජීර්, මුණුබුරු ෂා ජහාන් ආදීන් සමග සැසඳීමේදී ද අක්බර් තම රට වැසියනට දයාව දැක් වූ යුක්තිගරුකපාලකයකු වූ බවත් ආගමික සහජීවනය අගය කළ අයකු බවත් පැවසේ. තම රාජධානිය තුළ වෙසෙන මහමදික නොවන යටත් වැසියන්ගෙන් අය කෙරුණු, වහල් භාවයේ සළකුණක් වූ ඇඟබද්ද අවලංගු කිරීමට ඔහු කටයුතු කර ඇත. එසේ ම, ඉතා සරල ජීවිතයක් ගත කළ ඔහු අනුභව කර ඇත්තේ මස් මාංශවලින් තොර සරල ආහාර වේලක් බව ද කියැවේ.

අක්බර් මහමදික අධිරාජයකු වුව ද කෘෂ්ණ දෙවිඳුන් සැමරීම වැනි හින්දු ආගමික චාරිත්‍ර ඔහුගේ මාළිගය තුළ සිදු කෙරෙන අයුරු මේ චිත්‍රපටය තුළ දැක ගත හැකි ය. එයට හේතුව ඔහුගේ අග මෙහෙසිය වූ ජෝදා දේවිය අම්බර්හි රජ කළ භාර්මල් නම් රාජ්පුත් රජකුගේ දියණිය වීම වන අතර ඔහු ඇය විවාහ කරගන්නේ රාජ්පුත් දේශය මිත්‍රකමින් ජය ගැනීමේ උපක්‍රමයක් වශයෙනි. එසේ ම, අක්බර්ගේ විශ්වාසීතමයකු ලෙස හඳුනාගත හැකි මාන් සිං රාජා භාර්මල්ගේ මුණුපුරකු වන අතර (සමහර තැන්වල පුත්‍රයකු ලෙස ද දක්වා ඇත) පසුකාලීනව අම්බර් පාලනය කළ රාජ්පුත් රජු ය.

කෙසේ වුව ද මූඝල් අධිරාජ්‍යය කඩුවේ බලයෙන් සහ ලෙයින් ගොඩනැගුණක් බව අපට අමතක කළ නොහැකි ය. එසේ ම, සිහසුන වෙනුවෙන් පිය-පුතුන්, සහෝදරයන් එකිනෙකා ඇන කොටා ගැනීම් සහ ඝාතනය කර ගැනීම් ද මෙහි සුලභ විය. බාබර් අධිරාජයා සමර්කාන්ඩ් සහ කාබුල් ආක්‍රමණය කිරීමේදීත් පසුව හින්දුස්ථානය ආක්‍රමණය කිරීමේදීත් මනුෂ්‍ය ඝාතන බොහෝ සංඛ්‍යාවක් සිදු කරන ලද අතර ඔහුගේ පුත් හුමායන් තම සොහොයුරා වන කාම්රාන් අන්ධ බවට පත් කොට පලවා හැර ඔහුගේ සිහසුන පැහැර ගත්තෙකි.

අක්බර් අධිරාජයා පවා මූඝල් අධිරාජ්‍යයේ දේශ සිමා හැකි පමණ විශාල කර ගැනීමේ උන්නතිකාමී සිහිනයක සිහිනයක පැටළී සිටි අයකු විය. ඒ වෙනුවෙන් ඔහුගේ ජීවිත කාලය පුරා සංග්‍රාම සිදු කෙරුණු අතර චිතෝර් වැනි ප්‍රදේශ යටත් කර ගැනීමේදී ඔහු විසින් අති විශාල ජනකායක් බාල-මහළු, ස්ත්‍රී-පුරුෂ වෙනස්කමකින් තොරව ඝාතනය කරනු ලැබ ඇත. එසේම, හින්දුස්ථානයේ දේශසීමාවට දකුණින් පිහිටි ඩෙකෑනය යටත් කර ගැනීමේ දැඩි අභිලාෂයකින් සිටි ඔහු තම පුත්‍රයා පවා ඩෙකෑන් සටන් බිමට යවන අයුරු චිත්‍රපටයේදී ඔබට දැකගත හැකි ය. (හින්දුස්ථානය යනු ඉන්දු, ගංගා දෙ නදියෙනුත්, හිමලය සහ වින්ධ්‍යා කඳු පඞ්ක්තීන්ගෙනුත් සිමා වූ ප්‍රදේශයයි.) කෙසේ වුවද, අක්බර් තම ජීවිත කාලය තුළ එයට අසමත් වන අතර ඩෙකෑනය යටත් කර ගනිමින් මූඝල් අධිරාජ්‍යය වර්තමානතමිල්නාඩුව දක්වා ම ව්‍යාප්ත කිරීමට සමත් වන්නේ ෂා ජහාන්ගේ පුත්‍ර ඖරංසෙබ් ය.

වර්ෂ 1602 දී අක්බර් අධිරාජයාට විරුද්ධව සලීම් විසින් කරන ලද යුද්ධයක් පිළිබඳව වාර්තා වන නමුත් එය හුදෙක් රාජ්‍ය බලය අරමුණු කොට ගනිමින් සිදු කරන ලද්දක් විනා, මේ චිත්‍රපටයේ සඳහන් පරිදි අනාර්කලි කරණකොට ගෙන ඇති වූවක් නොවේ. කෙසේ වුවත්, සලීම්ට අනාර්කලී විවාහ කරගැනීමට නොලැබෙන අතර ඔහුගේ අග මෙහෙසිය වන්නේ පර්සියානු සම්භවයක් ඇතිනූර්ජහාං  නම් රදළවැන්දඹුවකි. චිත්‍රපටයේ හෝ ජනප්‍රවාදවල කියැවෙන්නාක් බඳු සැබෑ පෙම්වතකු නොවූ සලීම් ඇයගේ වල්ලභයා ඝාතනය කරන ලද බවත් පසුව ඔහුගේ වැන්දඹුව විවාහ කර ගත් බවත් පැවසේ. රාජ්‍ය පාලනය තම අගබිසවට පවරා සුපුරුදු ලෙස අලසකමින් සහ බේබදුකමින් කාලය ගත කළ පුද්ගලයකු වුවත් සලීම් හෙවත් ජහාංජීර් යනු කලා රස වින්දනය මැනැවින් පිහිටා තිබූ ඉතා විශිෂ්ට රසවතකු බව ද ප්‍රසිද්ධ ය.

ඉතිහාසගත කරුණු  අනුව සලීම්-අනාර්කලී පෙම්පුවත අවසන් වන්නේ අක්බර් විසින් අනාර්කලී බිත්තියකට තබා මැටි ගසා ඝාතනය කිරීමෙනි. සලීම් කුමරු අධිරාජ පදවියට පත් වීමෙන් පසුව අනාර්කලීගේ සොහොන මත ආදර මන්දිරයක් නිර්මාණය කරවන ලද බව සඳහන් වන අතර එම සිහිවටනය අද ද පකිස්ථානයේ ලාහෝර්හි දැකගත හැකි සංචාරක ආකර්ශනීය ස්ථානයකි.

කෙසේ වුවද, මෙවැනි ඓතිහාසික පෙම් පුවත් සම්බන්ධයෙන් කිව යුතු කරුණක් ඇත. එනම්, මේවා ඉතිහාසයේ යම් කිසි සත්‍ය සිදුවීමක් කේන්ද්‍ර කොට ගනිමින් ජන කවියන්ගේ, කථාකාරයන්ගේ සහ තවත් සමහර විට වෙනත් අරමුණු සහිත යම් යම් පුද්ගලයන්ගේ පරිකල්පන ඔස්සේ නිර්මාණය වී ඇති බවයි. මේ පෙම් පුවත් අමරණීය වන්නේ සිදුවීමෙහි ඇති සුවිශේෂත්වය නිසා නොව, අඥාත ජන කලාකරුවන් විසින් ඒ වටා ගොඩ නගනු ලබන ජනකවි, ජනකතා සහ ප්‍රවාද ආදියෙන් සමන්විතජන සාහිත්‍යය හේතුවෙනි. සරල සිදුවීමක් ඉතා සංවේදී අයුරින් ඉදිරිපත් කිරීම ප්‍රතිභාපූර්ණ කලාකරුවකුට එපමණ අපහසු කරුණක් නොවේ.

අප චිත්‍රපටය දෙසට අවධානය යොමු කරන්නේ නම්,  ඓතිහාසික චිත්‍රපටයකදී සිදු විය යුතු ලෙස ම ඉතිහාසගත සිදුවීම් විකෘති කිරීමකින් තොරව තම නිර්මාණය සදහා යොදා ගැනීමට සිනමාකරුවා ප්‍රවේසම් වී ඇත. ඔහු විසින් සිදු කර ඇත්තේ චිත්‍රපටයට ගැළපෙන පරිදි එම ඓතිහාසික සිදුවීම්වලටනව අර්ථකථනයක් ලබා දීම පමණකි. එතුළින් සලීම්-අනාර්කලි පෙම් පුවත ඉතා සුන්දර නිර්මාණයක් ලෙසින් ඉදිරිපත් කිරීමට ඔහු සමත් වී ඇති බව කිව යුතු ය.

එසේම, මූඝල් ඊ ඈසෑම්  යනු පැරණි හින්දි සිනමාවේ නිර්මාණය වූ අති දැවැන්ත නිර්මාණයකි.මෙහි බොහෝ දර්ශන අති විශාල ජනකායක් යොදාගෙන මහා පරිමාණයෙන් නිර්මාණය කරන ලදඒවා වේ. එසේ ම, මෙහි එන ප්‍යාර් ක්‍යා තෝ දර්නා ක්‍යා ගීතය වෙනුවෙන් කැඩපත් මාළිගය(ශීෂ් මැහැල්) සම්පූර්ණයෙන් ම නිර්මාණය කිරීමට අධ්‍යක්ෂ කේ. අසීෆ්ට සිදු වූ බවත්, පසුව එහි වියදම් පියවා ගැනීම පිණිස ඔහු එම මන්දිරය ප්‍රවේශපත් නිකුත් කොට ප්‍රදර්ශනය කළ බවත් ප්‍රසිද්ධ ය. එවක හින්දි සිනමා රසිකයන්ගේ දැඩි ආකර්ශනයට ලක් වූ මෙම නිර්මාණය 1960 දශකයේ භාරතීය සිනමාවේ වැඩිම ආදායම් උත්පාදනය කළ චිත්‍රපටය වශයෙන් ද වාර්තාගත වී ඇත.

කළු-සුදු චිත්‍රපටයක් වශයෙන් නිර්මාණය වූවත් මූඝල් ඊ ඈසෑම් හි ඇතැම් දර්ශන, එනම් ප්‍යාර් ක්‍යා තෝ දර්නා ක්‍යා ගීතය සහ චිත්‍රපටයේ අවසාන දර්ශන, රූ ගත කෙරි ඇත්තේ වර්ණයෙනි. එසේම, පසුකලෙක එය සම්පූර්ණයෙන් ම වර්ණ ගන්වා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කෙරී ඇත.

අනාර්කලීගේ චරිතය නිරූපනය කරමින් මධුබාලා මෙම චිත්‍රපටය තුළ අති විශිෂ්ට රංගනයක යෙදෙන්නී ය. විශේෂයෙන් ම, ප්‍යාර් ක්‍යා තෝ දර්නා ක්‍යාගීතය තුළ ඇය සිදු කරන භාව නිරූපනය හින්දි සිනමාවේ විශිෂ්ටතම භාව නිරූපනයක් ලෙස වර්තමානයේ පවා සම්භාවනාවට පාත්‍ර වන්නකි.

මූඝල් ඊ ඈසෑම් චිත්‍රපටයට සිංහල උපසිරැසි සකස් කිරීමට පෙර මම එහි පිටපත් බොහෝ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළෙමි. අන්තර්ජාලය තුළින් සොයා ගත හැකි වූ සියලුම පිටපත් වර්ණපිටපත් වූ අතර එක දු කළු-සුදු පිටපතක් හෝ මට හමු වූයේ නැත. එබැවින්, කළු-සුදු පිටපතට උපසිරැසි නිර්මාණය කරන අදහස අතහැර වර්ණ පිටපතක් සඳහා පමණක් උපසිරැසි නිර්මාණය කරන්නට මට සිදු විය. එසේම, ඒ වෙනුවෙන් ම බා ගත කර ගන්නා ලද වර්ණ පිටපත් කීපයක් කෙරෙහි ම මගේ අවධානය යොමු කළ ද ඒවායේ බොහෝ අඩුපාඩුකම් පැවතුණි. පුළුල් තිරය සදහා නිර්මාණය කරන ලද්දක් නොවූ මෙම චිත්‍රපටය පුළුල් තිර ගැන්වීම සඳහා සමහර පිටපත්වල රූපරාමු ඉහළින් සහ පහළින් කපා ඉවත් කොට තිබුණේ මිනිස් රූපවල හිසෙන් කොටසක්, සමහර විට ගෙලෙන් ඉහළ සම්පූර්ණ කොටස ම, කැපී ඉවත් වී යන පරිද්දෙනි. එයින් නොනැවතී තවත් සමහර පිටපත්වල රූපරාමුරූපය විකෘති වන පරිද්දෙන් දෙපසට ඇද පළල වැඩි කොට තිබිණි. එබැවින් අඩුවෙන් ම විකෘති කොට තිබූ පිටපතක් උපසිරැසි නිර්මාණය කිරීම සදහා තෝරා ගත්තෙමි. ඒ අනුව, අද දින මම ඔබ වෙත ගෙන එන උපසිරැසිය “Mughal-e-Azam Color 1960 Hindi 480p DvDRip x264 AC3 5.1…Hon3y” යන නමින් යුතුව අන්තර්ජාලයේ සොයාගත හැකි, පැය 2 මිනිත්තු 56 තත්පර 52 ක ධාවන කාලයකින් යුත්, එසේ ම, බරින් ගිගා බයිට් 2.18 ක් වූ පිටපතක් වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. මෙහි ඉහළින් සහ පහළින් කුඩා තීරු දෙකක් කපා ඉවත් කර ඇතිවාක් හැර වෙනත් කිසිදු විකෘති කිරීමක් සිදු කර නැති බැවින් නරඹන්නන්ට වැඩි බාධාවකින් තොරව රස විඳින්නට හැකි වනු ඇතැයි සිතමි.

කෙසේ වුවත්, උපසිරැසි නිර්මාණය කරගෙන යන අතරතුර මට වටහා ගත හැකි වූයේ මා තෝරා ගත් පිටපතේ ලතා මංගේෂ්කාර්ගේ මධුර ස්වරයෙන් ගැයෙන හෛ ඉශ්ක් යෙ සබ් දුනියා වාලේ නම් ගීතයත් හමේ කාශ් තුම්සේ මොහෝබත් න හෝතී නම් ගීතයත් තවත් දර්ශන කීපයකුත් අඩු බවයි. මා විසින් බාගත කොටගෙන තිබූ අනෙකුත් පිටපත් ද පරීක්ෂා කරන ලදුව, ඒවායේ ද එම කොටස් ම අඩු බව නිරීක්ෂණය වූ බැවින් තෝරාගත් පිටපතට ම උපසිරැසි නිර්මාණය කළෙමි. සමහර විට, කළු-සුදු පිටපත වර්ණ ගැන්වීමේදී චිත්‍රපටය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම වළක්වා ගැනීමට මේ ආකාරයට නැවත සංස්කරණය කරන්නට ඇත.

එසේ නමුත්, සංස්කරණය නොකළ කළු-සුදු පිටපතකුත්වඩා හොඳ වර්ණ පිටපතකුත් හමු වූ වහාම උපසිරැසි යාවත්කාලීන කිරීම සඳහා සූදානමින් සිටින බැවින් [email protected]යන ඊමේල් ලිපිනය ඔස්සේ මා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

මා අතිශයින් ම ප්‍රිය කරන මූඝල් ඊ ඈසෑම් හින්දි චිත්‍රපටය වෙනුවෙන් උපසිරැසි සකස් කොට ඔබ වෙත ගෙන එන්නට ලැබීම මගේ භාග්‍යයක් ලෙස සලකමි. මගේ නිර්මාණ සඳහා ධෛර්යය ලබාදෙන සියලු සහෘද හිතවතුන් ස්තූති පූර්වකව සිහිපත් කරමි. මෙම විශිෂ්ට නිර්මාණය අපවෙත තිලිණ කළකේ. අසීෆ් සිනමාකරුවාටත්,  මගේ දහ හතරවන නිර්මාණය වශයෙන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒමට අවස්ථාව සලසා දුන් www.baiscopelk.com වෙබ් අඩවියටත් ස්තූතිය පුද කරන අතරම අතීතයේ එක්තරා යුගයක අතිශයින් ම ජනප්‍රිය වූ සුන්දර ප්‍රේම කතාවක් රස විඳීමට මා සමග එකතු වන ලෙස ආරාධනා කරමින් ඔබෙන් සමුගනිමි.

Mughal-E-Azam (1960) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mughal-e-Azam Color 1960 Hindi 480p DvDRip x264 AC3 5.1…Hon3y

ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

14 comments

  1. දහරා මුතු අමා

    ඉස්සර අපේ ගෙදර පට්ට ගහපු චිත්‍රපටියක්. අපෙ තාත්තා කියන විදිහට නම් නියම චිත්‍රපටියක්. හැබැයි මට නම් කිසිම දෙයක් තේරුනේ නැති ඒ කාලෙ මම අකමැතිම චිත්‍රපටියක්. ඒත් දැන් නම් අරන් බලනවා. මේ චිත්‍රපටිය ගැන මම දන්න කරුනු කිහිපයකුත් කියන්නම්. මේකෙ අක්බාර් අධිරාජ්‍යයාගෙ චරිතෙට ඉන්නෙ රාජ් කපූර් ගෙ පියා ප්‍රීතිවිරාජ් කපූර්. ඒ වගේම මෙහි එන ප්‍යාර් කියා තෝ ඩර්නා ක්‍යා සිංදුව ලතා මංගේශ්කාර් රෙකෝඩ් කරල තියෙන්නෙ වහපු නාන කාමරයක් ඇතුලෙලු. ඒ කටහඬේ දෝංකාරය ගන්නලු. ඒ ඒ සිංදුව අන්තිමේදි එයාට කලන්තෙ හැදිල වැටුනලු.

  2. ප්‍රේමකුමාර

    අගනා විමර්ශනයක් ද සමඟ ලබාදුන් සිංහල උපසිරැසියට තුති පුදමු. මෙම ලියමනෙහිද ද රත්නායකයන්ට අාවේණික තියුණු විමසුම් ඇසත් ප්‍රසාද ගුණයත් පිලිබිඹු වේ.

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Mughal-E-Azam (1960)[Hindi] Dvdrip x264 AAC Badababa

    meka thamai hondama eka.mekata sub denna.

    thanx for your service.

    • වජිර රත්නායක

      මේ පිටපත මම දුන්නු පිටපත තරම් පැහැදිලි එකක් නෙවෙයි. නමුත්, ඔබේ ඉල්ලීම ඉටු කරන්නම්.

  5. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. සබට ගොඩාක් ස්තුතියි

  7. Withanage Priyantha Dayakeerthi

    වජිර රත්නායක සොයුර,
    මා මෙය මීට පෙර නරඹා තිබෙනවා, එසේම එම ඩීවීඩී තැටිය දැනටද මා ළඟ සුරක්ෂිතව තිබෙනවා. ඒ නිසා ඔබේ සිංහල උපසිරැසිය උපයෝගී කරගෙන දැන් එය නැවතත් පැහැදිලිවම නරඹන්නට පුළුවන්. මා බයිස්කෝප් වෙබ් එකට ආ විගස බලන්නේ ඔබේ උපසිරසියක් තිබෙනවාද කියලා, ඒ මන්ද මෙතෙක් ඔබ ලබාදුන් බොහෝ සිනමාපට මා නැරඹු නිසා. ඉතිං ඔබගේ වටිනා කාලය වැය කරමින් මේ කරන්නාවූ මෙහෙයට මාගේ අවංක ස්තුතිය පුද කරන අතර හැකිනම් ඉදිරියේදී 1952 වර්ෂයේ තිරගත වූ “Aan” හින්දි සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන ලෙසට ද යෝජනා කරන්නෙමි.

  8. මෙවැනි පැරණි කලාත්මක නිර්මාණ සදහා ඉදිරියේදීත් උපසිරසි කිරීමට ශක්තිය ලැබේවා !! උපසිරසියට තුති..

  9. පළමුවෙන්ම සබට ගොඩාක් ස්තුතියි. මේ වගේ ෆිල්ම් බලන්නේ බොහොම පොඩි පිරිසක් තමයි. ඒ ටික දෙනා වෙනුවෙන් කරන මේ සේවයට ගොඩක් ස්තුතියි. ලිපිය ලියන්නත් ඔයා ලොකු මහන්සියක් වෙලා තියනවා. ඒ හැම දෙයකටම ගොඩක් ස්තුතියි. දිලිප් කුමාර්ගේ ෆිල්ම් නම් ඉතින් සුපිරිම තමයි. මේවා ඒ කාලේ අපේ රටෙත් ප්‍රසිද්ද උන ෆිල්ම් තමයි. දිලිප් කුමාර්ගේ හොඳ ෆිල්ම් වලට තව දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඔබට ජය… පුළුවන් නම් මේ ෆිල්ම් ගැනත් ටිකක් සලකලා බලලා සබ් දෙන්න සහෝ.
    Naya Daur(1957)
    Gunga Jumna(1961)

    • Withanage Priyantha Dayakeerthi

      කමල් සොයුරා වෙත,
      Naya Daur(1957),Gunga Jumna(1961) සිංහල උපසිරසි කරනා ලද මෙම හින්දි සිනමාපට දෙකේම ඩීවීඩී තැටි දෙක මා ළඟ තිබෙනවා. [email protected] මෙම ඊ මේල් එකට හෝ 0779785608 අමතන්න එහි කොපියක් ලබා දෙන්නට හැකියි.

  10. niayamai…patta lipiyak liyala thiyenne…sahenna watina wadak…thanks VAJIRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!